28.9 C
Galle

ශිෂ්‍යත්ව විභාග නඩුවේ හිටපු NIE අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

Published:

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කළ බවට වරදකරු කරමින් ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (14) නියම කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, අචල වෙන්ගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම නඩුවේ පසුබිම වන්නේ 2024 සැප්තැම්බර් 15 දින පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර කාන්දු වූ බවට එල්ල වූ චෝදනාය. ඒ සම්බන්ධයෙන් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට දෙමාපියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.

එම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2024 දෙසැම්බර් 31 දින ලබාදුන් තීන්දුවෙන්, ප්‍රශ්න කාන්දු වීම හේතුවෙන් විභාගයේ විශ්වසනීයභාවය බිඳ වැටී ඇති බවත්, සියලුම සිසුන්ට අමතර ලකුණු ලබාදීමේ තීරණය නීති විරෝධී බවත් තීන්දු කර තිබුණි. ඒ සමඟම, ප්‍රශ්න කාන්දු වීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබූ ප්‍රේමතිලක මහතාට රුපියල් මිලියන 3ක වන්දියක් තම පුද්ගලික මුදලින් රජයට ගෙවන ලෙසද නියෝග කර තිබුණි.

කෙසේවෙතත්, අදාළ මුදල නියමිත කාලය තුළ ගෙවීමට ප්‍රේමතිලක මහතා අපොහොසත් වී ඇති බවට පසුගිය පෙබරවාරි මාසයේදී අධිකරණයට දැනුම් දී තිබූ අතර, ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

අද ප්‍රකාශයට පත් කළ තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, මීට අමතරව රුපියල් මිලියන 3ක දඩයක්ද ගෙවන ලෙස නියෝග කර තිබේ. එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් ද ක්‍රියාත්මක වන බව අධිකරණය සඳහන් කළේය.

Related articles

error: Content is protected !!