මැදපෙරදිග කලාපයේ පවතින සන්නද්ධ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති ආනයන පිරිවැය පාලනය කිරීම සහ ජාතික ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම අවම කිරීම වෙනුවෙන් මෝටර් රථ ආනයන රේගු බද්ද මත 50%ක අමතර ගාස්තුවක් (Surcharge) පැනවීමට රජය තීරණය කර ඇත.
මෙම තීරණයට අදාළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජය පෙන්වා දෙන්නේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් සියලුම ආනයන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වය රැකගැනීම සඳහා මෙම හදිසි පියවර ගත් බව කැබිනට් තීරණ දැනුම් දෙමින් රජය සඳහන් කරයි.
මෙම 50%ක අමතර ගාස්තුව 2026 මැයි 16 දින සිට ක්‍රියාත්මක වන අතර එය ඉදිරි මාස තුනක (03) කාලසීමාවක් සඳහා පමණක් වලංගු වේ.
මෙම බද්ද අදාළ වන්නේ 2026 මැයි 16 දිනට පසුව විවෘත කරනු ලබන ණය ලිපි (Letters of Credit) සඳහා පමණි. මැයි 16 දිනට පෙර විවෘත කළ ණය ලිපි සඳහා මෙම ගාස්තුව අදාළ නොවේ.
යම් හෙයකින් 2026 මැයි 15 දින හෝ ඊට පෙර විවෘත කළ ණය ලිපියක වාහන සංඛ්‍යාව, වාහන හඳුනාගැනීමේ අංකය (VIN), විස්තරය හෝ තාක්ෂණික පිරිවිතරයන් මැයි 15 දිනෙන් පසුව සංශෝධනය කරන්නේ නම්, එම වාහන සඳහා ද මෙම 50%ක අමතර ගාස්තුව ගෙවීමට සිදුවේ.
මෙමඟින් වාහන ආනයනය සීමා කිරීමක් සිදු නොවන බවත්, සිදු කරනුයේ ආනයන නියාමනය කිරීමක් පමණක් බවත් රජය අවධාරණය කරයි.
දැනටමත් මෙරටට ආනයනය කර ඇති වාහනවල මිල ගණන් ඉහළ යාම වැළැක්වීම සහ ඉදිරි මාස තුනක කාලය තුළ වාහන ආනයන ක්ෂේත්‍රය විධිමත්ව නියාමනය කිරීම මෙම පියවරේ මූලික අරමුණ බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.



