27.1 C
Galle

රුපියල කඩා වැටෙයි, ඩොලරය 354 පනී, බස් ගාස්තු, කිරි තේ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලත් ඉහළට?

Published:

ශ්‍රී ලංකා රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ රටේ ආර්ථිකයට නැවතත් දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව ජාත්‍යන්තර සහ දේශීය ආර්ථික වාර්තා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර බ්ලූම්බර්ග් (Bloomberg) සඟරාව වාර්තා කරන්නේ, මේ මාසය තුළ ආසියානු කලාපයේ වේගයෙන්ම අවප්‍රමාණය වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව, අද (21) අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.63ක් ලෙස සටහන් වූ අතර, විකුණුම් මිල රුපියල් 354.03ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2023 මාර්තු මාසයෙන් පසු වාර්තා වූ රුපියලේ අවම අගය ලෙස සැලකේ.

බ්ලූම්බර්ග් දත්ත අනුව, මේ මාසය තුළ පමණක් රුපියලේ අගය 4.6%කින් කඩා වැටී ඇති අතර, බදාදා දිනයේදී පමණක් 1.2%ක අවප්‍රමාණයක් වාර්තා වී තිබුණි.

මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ ඉරානය සහ අමෙරිකාව අතර පවතින උණුසුම් භූ-දේශපාලනික ගැටුම්ය.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන පිරිවැය හය ගුණයකින් වැඩි වී ඇති බව වාර්තා වේ.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි වෙළඳපොළ තුළ පවතින අපේක්ෂාව මෙම තත්ත්වය තවත් උග්‍ර කර ඇති බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ,

ආනයනකරුවන් විශාල වශයෙන් ඩොලර් මිලදී ගැනීම,

අපනයනකරුවන් තම විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීම ප්‍රමාද කිරීම,

විදේශ ආයෝජකයින් කොටස් සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙන් ඉවත්වීම,

වැනි හේතු නිසා විදේශ විනිමය වෙළඳපොළ තුළ දැඩි හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ, විනිමය වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය පාලනය කිරීම සඳහා මහ බැංකුව අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපොළට මැදිහත් වන බවයි.

මේ අතර, ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ රුපියල ස්ථාවර කිරීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීම අත්‍යවශ්‍ය විය හැකි බවයි.

ආර්ථික විශ්ලේෂක රවී රත්නසබාපති සඳහන් කළේ, ණය පොළී අනුපාත ඉහළ දැමීමෙන් වෙළඳපොළේ ද්‍රවශීලතාවය අඩු කර රුපියලට සහායක් ලබාදිය හැකි බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය මේ මස 26 වැනිදා නිකුත් කිරීමට නියමිත අතර, එහිදී ගනු ලබන තීරණ පිළිබඳව වෙළඳපොළ දැඩි අවධානයෙන් පසුවේ.

රුපියල තවදුරටත් කඩා වැටීම වළක්වා ගැනීම සඳහා රජය මේ වන විට හදිසි ආර්ථික පියවර කිහිපයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව,

පෞද්ගලික වාහන ආනයනය සඳහා 50%ක විශේෂ ආනයන බද්දක්,

ඉන්ධන සීමා,

විදුලි ගාස්තු ඉහළ දැමීම,

වැනි ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත.

රුපියල අවප්‍රමාණය වීමේ සෘජු බලපෑම ජනතාවගේ දෛනික ජීවිතයට දැනෙමින් පවතින බව ව්‍යාපාරික සහ ප්‍රවාහන ක්ෂේත්‍ර පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ, ලබන ජූනි මාසයේ බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යා යුතු බවයි.

මේ අතර, ආනයනික ආහාර ද්‍රව්‍ය මිල ද ඉහළ යමින් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ කිරි තේ එකක මිල රුපියල් 5කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයද නිවේදනය කර ඇත.

‘ඇඩ්වොකාටා’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර ගැටුම් අවසන් වීම සහ වෙළඳපොළ විශ්වාසය යළි ගොඩනැගීම රුපියල ස්ථාවර කිරීමට උපකාරී වනු ඇති බවයි.

කෙසේ වෙතත්, දැනට පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් දැඩි අවදානම් කලාපයකට ඇතුළු වෙමින් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.

Related articles

spot_img
error: Content is protected !!