වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බවට චෝදනා ලැබ, මහාධිකරණය විසින් වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර සිටි භික්ෂූන් වහන්සේ නමක නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රී ලංකා අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
පැමිණිලි පාර්ශ්වයේ ප්‍රධාන සාක්ෂිවල පවතින බරපතළ පරස්පරතාවන් හේතුවෙන් විත්තිකාර භික්ෂුවට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව තීන්දු කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය. මෙලෙස නිදොස් කොට නිදහස් කර ඇත්තේ සීතාවක සොරත හිමියන් ය.
අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩු තීන්දුව
පසුගිය 2016 මාර්තු මස 01 වනදා හෝ ඊට ආසන්න දිනකදී නාමල්දෙණිය ප්‍රදේශයේදී මෙම සිදුවීම වූ බවට චෝදනා එල්ල වී තිබුණි. පැමිණිල්ලේ දැක්වුණේ, පන්සල අසලින් ගමන් කරමින් සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙකු කුටිය තුළට කැඳවා, කකුල්වල සහ ලිංගික ප්‍රදේශයේ තෙල් ගාන ලෙස ඉල්ලා බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවයි.
මෙම නඩුව විභාග කළ අවිස්සාවේල්ල මහාධිකරණය විසින් සීතාවක සොරත හිමියන් වරදකරු කරමින් වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 25,000ක දඩයක් සහ වින්දිත දරුවාට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබුණි.
අභියාචනාධිකරණයේදී මතු වූ සාක්ෂි පරස්පරතාව
මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්ති පාර්ශ්වය විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් (CA HCC 136/2025) ඉදිරිපත් කරන ලදී. එහිදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන දරුවා මුලින්ම පොලිසියට සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) හමුවේ ලබා දුන් ප්‍රකාශවල “තෙල් ගෑම” සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති බවයි.
මුල් ප්‍රකාශවල සඳහන්ව තිබුණේ “අතගාන ලෙස” ඉල්ලීමක් කළ බව පමණක් වන අතර, පසුව අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් “තෙල් ගෑම” සම්බන්ධයෙන් නව කරුණු ඉදිරිපත් කිරීම තුළින් මුළු සාක්ෂියේම විශ්වාසනීයත්වය බරපතළ ලෙස බිඳ වැටෙන බව විත්ති පාර්ශ්වය තර්ක කළේය.
මහාධිකරණ තීන්දුව අවලංගු වෙයි
මෙම අභියාචනය සලකා බැලූ බී. සසී මහේන්ද්‍රන් සහ අමල් රණරාජ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ, සිද්ධියේ ප්‍රධානතම කරුණක් වන “තෙල් ගෑමේ ඉල්ලීම” මුල් ප්‍රකාශවලින් සම්පූර්ණයෙන්ම මඟ හැරී තිබීම නිසා ප්‍රධාන සාක්ෂිකරුගේ ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවයි. විවිධ අවස්ථාවලදී සාක්ෂිකරු පරස්පර අදහස් දක්වා ඇති බැවින් දඬුවම් නියම කිරීම සාධාරණ නොවන බව විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.
ඒ අනුව, අවිස්සාවේල්ල මහාධිකරණය විසින් පනවා තිබූ වරදකරු කිරීමේ තීන්දුව, සිර දඬුවම, දඩ සහ වන්දි ඇතුළු සියලුම නියෝග අවලංගු කිරීමට තීන්දු කළ අභියාචනාධිකරණය, සීතාවක සොරත හිමියන් වහාම නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.



