31.6 C
Galle

මුහුද රළු වෙයි, ධීවර කටයුතු තහනම්, මිලිමීටර් 100 ඉක්මවූ වැසි සහ තද සුළං!

Published:

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුළ දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාප රළු හෝ ඉතා රළු විය හැකි බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවරයින්ට දැනුම් දී තිබේ.

මේ අතර, හෙට (03) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සහ දිවයින පුරා සුළඟේ වේගයේ ඉහළ යාමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ධීවරයින්ට සහ මුහුදු කලාපවලට දැඩි අවදානම් නිවේදනයක්

අද (02) නිකුත් කළ විශේෂ කාලගුණ අනතුරු ඇඟවීම්වලට අනුව, මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු කලාප ඉතා අවදානම් සහගත බවත් දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවත් සඳහන් වේ.

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0ක් – 2.5ක් දක්වා ඉහළ යා හැකි බවට ද අනතුරු අඟවා ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධළුක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසන්නේ,

“මේ වන විටත් මුහුදේ රැකියාවේ නිරත වන ධීවර යාත්‍රා ඇත්නම් වහාම ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණිය යුතුයි. ඕනෑම ධීවර කටයුත්තකදී ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳීම අනිවාර්යය වේ.” යනුවෙනි.

ගොඩබිමට මිලිමීටර් 100 ඉක්මවන මහා වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයට අනුව හෙට (03) සිට බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඉන් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි (Heavy Falls) ඇති විය හැක. පවතින තත්ත්වය මත දිවයින පුරා විටින් විට පැයට කිලෝමීටර් 40-50ත් අතර තද සුළං ද බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් පිළිපදිමින් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ පොදුවේ මහජනතාවගෙන් සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!