නෝර්වේ රාජ්‍යයේ ඔටුන්න හිමි මෙට්-මැරිට් (Mette-Marit) කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන 29 හැවිරිදි මාරියස් බෝග් හොයිබි (Marius Borg Høiby) ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු කරමින් ඔස්ලෝ දිස්ත්‍රික් අධිකරණය විසින් ඔහුට වසර හතරක සිරදඬුවමක් නියම කර තිබේ.
සඳුදා දින ප්‍රකාශයට පත් කරන ලද මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ, නෝර්වේ රාජකීය පවුලේ කීර්තිනාමයට සහ ජනප්‍රියත්වයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
චෝදනා සහ අධිකරණ තීන්දුව
හොයිබිට එරෙහිව ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ හිංසනය, තර්ජනය කිරීම් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු චෝදනා 40ක් එල්ල වී තිබුණි.
සති හතක් පුරා පැවැති මෙම නඩු විභාගයේදී කාන්තාවන් සිව්දෙනෙකු නිදාසිටි හෝ අධික ලෙස මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිහිසුන්ව, තමන්ව ආරක්ෂා කර ගැනීමට නොහැකිව සිටි අවස්ථාවලදී ඔවුන්ව දූෂණය කළ බවට හොයිබිට චෝදනා එල්ල විය. නෝර්වීජියානු නීතියට අනුව එවැනි අසරණ තත්ත්වයක පසුවන අයෙකු සමඟ සිදුකරන ලිංගික ක්‍රියාවන් ස්ත්‍රී දූෂණ ගණයට වැටෙන බැවින් මෙම කරුණ නඩුවේදී තීරණාත්මක සාධකයක් විය.
ඉන් චෝදනා දෙකකට ඔහු වැරදිකරු වූ අතර, ඉතිරි ස්ත්‍රී දූෂණ චෝදනා දෙකෙන් ඔහුව නිදොස් කොට නිදහස් කෙරිණි. වැරදිකරු වූ එක් සිදුවීමක් 2018 වසරේදී ඔටුන්න හිමි කුමරුගේ නිල නිවාස පරිශ්‍රයේද, අනෙක් සිදුවීම 2024 දී ඔස්ලෝ නුවරදීද සිදුව ඇත.
මීට අමතරව ඔහුගේ හිටපු පෙම්වතියක මෙන්ම නෝර්වීජියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක (Influencer) වන නෝරා හවුක්ලන්ඩ් (Nora Haukland) ඇතුළු තවත් සහකාරියකට ශාරීරික හානි සිදු කිරීම සම්බන්ධයෙන්ද ඔහු වැරදිකරු විය. වින්දිත කාන්තාවන් සිව්දෙනෙකුට ක්‍රෝනර් 640,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර ඇත.
පැමිණිල්ල පාර්ශවයෙන් වසර 7යි මාස 7ක සිරදඬුවමක් ඉල්ලා සිටි අතර, හොයිබි තමන් නිර්දෝෂී බව පවසමින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ නීතිඥ පීටර් සේකුලික් (Petar Sekulic) ප්‍රකාශ කළේය. හොයිබි සෞඛ්‍ය හේතූන් මත අධිකරණයට පැමිණ නොසිටි අතර, වීඩියෝ තාක්ෂණය ඔස්සේ තීන්දුවට සවන් දුන්නේය.
රාජකීය පවුල මුහුණ දෙන අර්බුදය
මාරියස් බෝග් හොයිබි යනු මෙට්-මැරිට් කුමරිය හැකන් (Haakon) කුමරු සමඟ විවාහ වීමට පෙර ඇයට සිටි පුත්‍රයා වන අතර ඔහුට නිල රාජකීය පදවියක් නොමැත. එසේ වුවද, ඔහු හැදී වැඩුනේ රාජකීය පවුල තුළ බැවින් මෙම සිදුවීම සමස්ත රාජාණ්ඩුව කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීමට හේතු වී ඇත. මෑතකදී කල සමීක්ෂණයකට අනුව නෝර්වේ වැසියන් අතර රාජාණ්ඩුවට ඇති කැමැත්ත 60% දක්වා වාර්තාගත ලෙස පහත වැටී තිබේ.
තවද, මීට පෙර ඇමරිකානු ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවැති මිත්‍රත්වය පිළිබඳව ඔටුන්න හිමි කුමරියට සමාව අයැදීමට සිදුවීමද මීට තවත් හේතුවකි.
කුමරියගේ සෞඛ්‍ය තත්ත්වය
මෙම නඩු තීන්දුව පැමිණෙන්නේ ඔටුන්න හිමි මෙට්-මැරිට් කුමරිය බරපතල ලෙස රෝගාතුර වී සිටින පසුබිමකය. ඇය පෙනහළු ආශ්‍රිත රෝගයකින් (Pulmonary Fibrosis) පෙළෙන අතර, මේ වන විට පෙනහළු බද්ධ කිරීමේ (Lung Transplant) පොරොත්තු ලේඛනයට ඇතුළත් කර ඇත. කුමරියගේ අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් තමන් සිරභාරයෙන් නිදහස් කරන ලෙස හොයිබිගේ නීතිඥවරුන් ඉල්ලා සිටියද, ශ්‍රේෂ්ඨාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වීම නෝර්වේ රාජකීය මාළිගය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, කුමරියගේ පෙනහළු බද්ධ කිරීමේ සැත්කම සිදුවන තෙක් ඇයගේ සෞඛ්‍යය පිළිබඳව වැඩිදුර ප්‍රකාශ නිකුත් නොකරන බවද දන්වා ඇත.



