28 C
Galle

රන් ආලේපිත ටී-56 නඩුව උඩුයටිකුරු වෙයි, හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක යළි සැකකරුවකු කරන්නැයි නියෝග

Published:

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගන්නා ලද රන් ආලේපිත T-56 වර්ගයේ ගිනිඅවියක් සම්බන්ධ නඩුවෙන් මීට පෙර මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාව, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි යළිත් එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඊයේ (19) නියෝග කළාය.

ඒ අනුව, ඉදිරි දිනයකදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු මන්ත්‍රීවරයා වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි නොතීසි නිකුත් කිරීමට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මෙම ආන්දෝලනාත්මක රන් ආලේපිත ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී, හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව සෘජු හෝ පරිවේෂණීය සාක්ෂි අනාවරණය වී නොමැති බව එවකට කරුණු වාර්තා වී තිබුණි. ඒ අනුව ක්‍රියා කළ එවකට පූර්වගාමී ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය විසින් ඉකුත් වසරේ ජූලි 29 වැනිදා දුමින්ද දිසානායක මහතාව මෙම නඩුවෙන් සම්පූර්ණයෙන්ම මුදා හැරීමට නියෝග කර තිබුණි.

කෙසේ වුවද, සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන වාර්තා සලකා බැලූ නීතිපතිවරයා, හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඔහුව යළිත් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට වත්මන් මහෙස්ත්‍රාත්වරිය පියවර ගත්තාය.

මෙම සිද්ධියට අදාළව දුමින්ද දිසානායක මහතාව පසුගිය වසරේ මැයි මස 23 වැනි දින ප්‍රථම වරට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ අතර, පසුව ඉදිරිපත් වූ ඇප ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය දැඩි ඇප කොන්දේසි මත ඔහුව මුදා හැරීමට පියවර ගෙන තිබුණි. නීතිපතිවරයාගේ මෙම නව නියෝගයත් සමඟ නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!