27 C
Galle

දයා සමූහ ව්‍යාපාරයේ උකස් දේපල වෙන්දේසි කිරීමට බැංකුවට ඇති බලය තහවුරු වෙයි

Published:

ණය පැහැර හැරීමක් හේතුවෙන් මහජන බැංකුව වෙත උකස් තබා තිබූ දයා සමූහ ව්‍යාපාරයට (Daya Group) අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වැළැක්වීම සඳහා ගොනු කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය 19 වැනිදා ලබා දුන් මෙම තීන්දුවත් සමඟ, පරාටේ නීතිය යටතේ උකස් දේපළ විකුණා ණය මුදල් අයකර ගැනීමට මහජන බැංකුවට ඇති නීතිමය බලය යළිත් වරක් අධිකරණය හමුවේ තහවුරු වී ඇත.

නඩු වාර්තාවලට අනුව, දයා සමූහ ව්‍යාපාරයට අයත් ‘දයා ඇපරල් එක්ස්පෝර්ට්’ සමාගම විසින් 2017 සහ 2018 වසරවලදී මහජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4කට අධික ණය මුදලක් ලබාගෙන තිබුණි. ඒ සඳහා සමූහ ව්‍යාපාරයට අයත් දේපළ කිහිපයක් බැංකුව වෙත උකස් කර තිබූ අතර, අදාළ ණය මුදල් දිගින් දිගටම පැහැර හැරීම නිසා පරාටේ නීතිය යටතේ එම දේපළ වෙන්දේසි කිරීමට මහජන බැංකුව පියවර ගත්තේය.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ රටේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් තමන් දැඩි මූල්‍ය අපහසුතාවකට පත් වූ බව පවසමින් දයා ගෘප්ස් සමාගම බැංකුවේ ක්‍රියාමාර්ගයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ CA (Writ) No. 453/2022 යටතේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.

පෙත්සම්කාර සමාගම ප්‍රධාන වශයෙන් තර්ක කර තිබුණේ ණය ලබාගත් ප්‍රධාන සමාගම නොවන, සමූහ ව්‍යාපාරයට අයත් වෙනත් (තෙවන පාර්ශ්ව) සමාගමක දේපළවලට එරෙහිව පරාටේ නීතිය භාවිත කළ නොහැකි බවයි. එමෙන්ම බැංකුවේ ණය ගණනය කිරීම් වැරදි බවත්, වෙන්දේසිය ගැන නිසි දැනුම්දීමක් නොලැබුණු බවත් ඔවුහු පැවසූහ.

එහෙත් එම තර්ක ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය පෙන්වා දුන්නේ:

මහජන බැංකු පනත යටතේ උකස් දේපළ විකිණීමට අධ්‍යක්ෂ මණ්ඩලයට පැහැදිලි බලතල ඇති බව.

උකස් ගිවිසුම නීත්‍යානුකූල නම්, එම දේපළ ප්‍රධාන ණයගැතියාට අයත් ද නැද්ද යන්න වෙන්දේසියට බාධාවක් නොවන බව.

පොලී අනුපාත හෝ ණය ගණනය කිරීම් පිළිබඳ ගැටලු රිට් පෙත්සමකින් විසඳිය නොහැකි බව.

බැංකුව විසින් 2021 මාර්තු මාසයේදී ගන්නා ලද තීරණයකට එරෙහිව 2022 වසරේ අගභාගයේදී (වසරකටත් වැඩි ප්‍රමාදයකින්) මෙම පෙත්සම ගොනු කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් අධිකරණය, “නීතිය පිහිට වන්නේ අවදියෙන් සිටින අයට මිස තමන්ගේ අයිතිවාසිකම් මත නිදා සිටින අයට නොවේ” යන නෛතික මූලධර්මය උපුටා දක්වමින් ප්‍රකාශ කළේ මෙය අසාධාරණ ප්‍රමාදයක් බවයි.

සියලු කරුණු සලකා බැලූ ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුමුදු ප්‍රේමචන්ද්‍ර සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන් මෙම පෙත්සම නිශ්ප්‍රභ කළ අතර, මහජන බැංකුවට රුපියල් මිලියනයක නඩු ගාස්තු ගෙවන ලෙස ද පෙත්සම්කාර දයා ගෘප්ස් සමාගමට නියෝග කළේය.

මෙම තීන්දුවත් සමඟ මහජන බැංකුවට අදාළ උකස් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා සිය ණය මුදල් අයකර ගැනීමට තිබූ සියලු නීතිමය බාධා ඉවත් වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!