බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස නවයක සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) ස්ථිර කර තිබේ.
එම සිර දඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
පසුගිය 2016 වසරේදී කිරුළපන ප්‍රදේශයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ප්‍රජාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම මෙම නඩුවට පාදක වී තිබුණි. එම ප්‍රකාශය මඟින් ජාතීන් අතර පවතින සංහිඳියාව සහ සාමය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් උන්වහන්සේට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
අදාළ නඩු විභාගයෙන් අනතුරුව චෝදනාවට වැරදිකරු වූ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 9ක සිර දඬුවමක් නියම කරන ලදී.
මහාධිකරණය අද (23) ලබා දුන් තීන්දුවත් සමඟ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ එම සිර දඬුවම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.



