28.1 C
Galle

වෙනිසියුලාවේ භූකම්පන දෙකක්, 32ක් මරුට, 700කට තුවාලයි

Published:

වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් (Caracas) කේන්ද්‍ර කරගනිමින් එක පිට එක සිදුවූ ප්‍රබල ද්විත්ව භූමිකම්පාවකින් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 700කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.2ක සහ 7.5ක ප්‍රබලත්වයකින් යුතුව විනාඩියකටත් අඩු කාලසීමාවක් තුළ මෙම භූකම්පන දෙක සිදුව ඇත්තේ වෙනිසියුලාවේ ජාතික නිවාඩු දිනයක් යෙදී තිබූ බදාදා දිනක සන්ධ්‍යාවේ බැවින් බොහෝ පිරිසක් එම අවස්ථාවේදී නිවෙස් තුළ රැඳී සිට ඇත. මෙම කම්පනය අසල්වැසි කොලොම්බියාවේ බොගෝටා අගනුවර දක්වාම දැනී තිබේ.

කෙසේ වෙතත්, මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මරණ සංඛ්‍යාවට භූමිකම්පාවෙන් දරුණුතම බලපෑමට ලක්ව ඇති වෙරළබඩ කලාපයක් වන ලා ගුවයිරා (La Guaira) ප්‍රාන්තයේ දත්ත ඇතුළත් කර නොමැති බැවින් මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බව වැඩබලන ජනාධිපතිවරිය සඳහන් කරයි.

ලා ගුවයිරා ප්‍රාන්තයේ පිහිටි මහල් 10කින් යුත් ප්‍රකට ‘හොටෙල් එඩියුඅර්ඩ්ස්’ (Hotel Eduard’s) හෝටල් සංකීර්ණය ඇතුළු ගොඩනැඟිලි දුසිම් ගණනක් සම්පූර්ණයෙන්ම සුන්බුන් බවට පත්ව ඇති අතර එම ප්‍රදේශය ව්‍යසන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පෙන්වා දෙන්නේ පවතින විනාශයේ ස්වභාවය අනුව මරණ සංඛ්‍යාව 10,000 පමණ දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

භූමිකම්පාව හේතුවෙන් කැරකස් අගනුවර ගොඩනැඟිලි රැසක් කඩා වැටී ඇති අතර සුන්බුන් අතරින් මිනිසුන් උදව් ඉල්ලා කෑගසන ශබ්දය ඇසෙන බව සහන සේවා නිලධාරීන් පවසයි. නගරයේ විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර මෙට්‍රෝ දුම්රිය පද්ධතිය ද වසා දමා ඇත.

පසු කම්පන (Aftershocks) ඇතිවේ යැයි පවතින බිය සහ හානියට පත් ගොඩනැඟිලි තවදුරටත් කඩා වැටීමේ අවදානම හේතුවෙන් බලධාරීන්ගේ උපදෙස් මත ජනතාව නිවෙස්වලින් ඉවත්ව වීදි පුරා කූඩාරම් ගසමින් රාත්‍රිය ගත කරති. සිදුවූ දේපළ හානි හේතුවෙන් රටේ ප්‍රධාන ගුවන්තොටුපළ ද තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති අතර අත්‍යවශ්‍ය මහජන සේවා හැර අනෙකුත් සියලුම පාසල් සහ රාජ්‍ය කටයුතු අත්හිටුවා තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා වෙනිසියුලා රජය විසින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා ඇත. මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව, එල් සැල්වදෝරය, ඉක්වදෝරය, බ්‍රසීලය සහ චිලී රාජ්‍යය ඇතුළු ලතින් ඇමරිකානු රටවල් රැසක් වෙනිසියුලාවට ආධාර සහ සහන සේවා කණ්ඩායම් එවීමට පියවර ගෙන තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලේකම් මාර්කෝ රූබියෝ යන මහත්වරුන් ප්‍රකාශ කර ඇත්තේ සෙවීමේ සහ මුදාගැනීමේ කණ්ඩායම්, වෛද්‍ය පහසුකම් සහ මානුෂීය ආධාර වහාම වෙනිසියුලාව වෙත පිටත් කර හරින බවයි.

Related articles

spot_img
error: Content is protected !!