31.6 C
Galle

කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට

Published:

ගාල්ල ජාතික රෝහලේ සහන සත්කාර ඒකකය (Palliative Care Unit) ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සහන සත්කාර ඒකක 21ක් අතරින් හොඳම ඒකක පහ අතරට තේරී පත්ව තිබේ.

මෙම ඇගයීම පසුගියදා කොළඹදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති වාර්ෂික සහන සත්කාර සමාලෝචන රැස්වීමේදී සිදු කර ඇත.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් පිළිකා ඒකකය භාර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා මහතා, කරාපිටිය රෝහලේ බහුවිධ සහන සත්කාර කණ්ඩායම, ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඒකකවල වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ගේ කැපවීම සහ සහයෝගය විශේෂයෙන් ඇගයීමට ලක්කර තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර මගින් තවදුරටත් සුව කළ නොහැකි රෝගීන්ට සහන සත්කාර සේවා ලබාදීමේ අරමුණින් මෙම සහන සත්කාර ඒකකය විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කෙරිණි. එහි ඉදිකිරීම් සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය දායකත්වය මහජන පරිත්‍යාග මගින් සපයාගත් අතර, ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රම දායකත්වය ලබාදී තිබිණ.

කරාපිටිය රෝහලේ 65 වැනි වාට්ටුව ලෙස ක්‍රියාත්මක වන මෙම සහන සත්කාර ඒකකය මගින් මේ වනවිට සහන සත්කාර අවශ්‍ය දහස් සංඛ්‍යාත රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සේවාවන් සලසා ඇත.

රෝගීන්ගේ මානසික සුවසෙත ද ප්‍රවර්ධනය වන ආකාරයෙන් මනරම් පරිසරයක ඉදිකර ඇති මෙම ඒකකය නවීන පහසුකම්වලින් සමන්විත වන අතර, මෙවැනි අරමුණක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම සහන සත්කාර මධ්‍යස්ථානය ලෙස ද සැලකේ.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ සහන සත්කාර සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා කරාපිටිය රෝහල සිදුකරන සේවයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

Related articles

spot_img
error: Content is protected !!