30.7 C
Galle

දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්

Published:

ඇසේ සුද ඉවත් කර කාචයක් බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා රජයේ රෝහල්වල දීර්ඝ පොරොත්තු ලේඛනවල වසර ගණනක් බලා සිටින රෝගීන්ට සහනයක් සලසමින් දින දෙකක් තුළ රෝගීන් 596 දෙනකුගේ අක්ෂි ශල්‍යකර්ම සාර්ථකව සිදුකිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය 07 සහ 08 දෙදින ගාල්ල ජාතික රෝහලේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සම්බන්ධීකරණයෙන් ගාල්ල ජාතික රෝහලේ අක්ෂි ශල්‍ය ඒකකය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකර කාච බද්ධ කිරීම සිදුකෙරිණි.

මෙම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කාච ඇතුළු වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය HelpAge ආයතනය හරහා කැනඩාවේ රාජ්‍ය නොවන සංවිධානයක සහාය ඇතිව සපයා තිබිණි. වැඩසටහන සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ අනුග්‍රහයෙන් සපයා තිබූ අතර, කරාපිටිය රෝහලේ පවතින අක්ෂි ශල්‍යාගාර දෙකට අමතරව තාවකාලිකව සකස් කළ ශල්‍යාගාරයක් ද මේ සඳහා යොදාගෙන තිබිණි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් 04 දෙනකු ඇතුළුව කොළඹ, හම්බන්තොට, අම්පාර සහ සීදුව රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දස දෙනකු මේ සඳහා දායකත්වය ලබාදී තිබිණ. කොළඹ ජාතික අක්ෂි රෝහලේ සහ හම්බන්තොට රෝහලේ අක්ෂි ඒකකවල උපකරණ සහ කාර්ය මණ්ඩලය ද මේ සඳහා ලබාදී තිබූ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා දීර්ඝ පොරොත්තු ලේඛන පවතින අතර, කරාපිටිය රෝහලේ එවැනි ශල්‍යකර්මයක් සඳහා දිනයක් ලබාගැනීමට වසරක පමණ කාලයක් බලා සිටීමට සිදුවන බව ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය පවසයි.

මෙම පොරොත්තු ලේඛන අවම කරමින් ශල්‍යකර්ම අපේක්ෂාවෙන් සිටින රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීමේ අරමුණින් විද්‍යායතනය විසින් ‘Gift of Vision’ නමින් රට පුරා විශේෂ අක්ෂි ශල්‍යකර්ම වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලබයි.

එහි පළමු වැඩසටහන 2025 මාර්තු මාසයේදී අනුරාධපුර රෝහලේදී පවත්වා ඇති අතර, පසුගිය වසරේදී බදුල්ල, රත්නපුර, කහවත්ත සහ මහියංගණය ඇතුළු රෝහල්වල වැඩසටහන් දහයක් පවත්වා තිබේ. මෙම වසරේ මේ දක්වා වැඩසටහන් හයක් පවත්වා ඇති අතර, ගාල්ල ජාතික රෝහලේදී පැවැත්වූයේ එහි හත්වැනි වැඩසටහනයි. මෙහි මීළඟ වැඩසටහන නොවැම්බර් 21 වැනිදා නුවරඑළිය රෝහලේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!