29.3 C
Galle

සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී

Published:

පාසල් අවසන් වීමෙන් පසු ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළට පැමිණෙන පාසල් සිසුන් නිකරුණේ බස් නැවතුම්පොළේ රැඳී සිටීම වැළැක්වීම සහ ඔවුන් ආරක්ෂිතව නිවෙස් බලා පිටත් කිරීමේ අරමුණින් ගාල්ල පොලිසිය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ පොලිස් නිලධාරීන් බස් නැවතුම්පොළ තුළ රැඳී සිටින සිසුන් නිරීක්ෂණය කර ඔවුන් ගමන් කළ යුතු බස් රථවලට කඩිනමින් යොමු කරන අතර, බස් රථ නොමැතිව නිකරුණේ රැඳී සිටින සිසුන්ට ද උපදෙස් ලබාදෙන බව පොලිසිය සඳහන් කරයි.

ගාල්ල බස් නැවතුම්පොළට දිනපතා දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පාසල්වලින් සිසුන් විශාල පිරිසක් පැමිණෙන අතර, ඇතැම් අවස්ථාවල ඔවුන් කණ්ඩායම් වශයෙන් රැඳී සිටීම හේතුවෙන් බහින්බස්වීම් සහ ගැටුම් ඇතිවීම පිළිබඳ පැමිණිලි ලැබී තිබේ. එමෙන්ම ඇතැම් සිසුන් පාසල් අවසන් වූ පසු දීර්ඝ වේලාවක් බස් නැවතුම්පොළේ රැඳී සිටීම දෙමාපියන්ගේ සහ පාසල් බලධාරීන්ගේ ද අවධානයට ලක්ව තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පාසල් අවසන් වන වේලාවන්හි පොලිස් නිලධාරීන්ගේ සංචාර සහ නිරීක්ෂණ වැඩි කර ඇති අතර, සිසුන්ට අනවශ්‍ය ලෙස බස් නැවතුම්පොළේ රැඳී නොසිට තමන්ගේ ගමනාන්තයට යන බස් රථවලට වහාම ගොඩවන ලෙස දැනුම් දෙනු ලබයි.

ඒ අනුව ඊයේ (23) පස්වරුවේ ගාල්ල බස් නැවතුම්පොළේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරියක් අතේ වේවැලක් ද රැගෙන සිසුන් බස් රථ වෙත යොමු කරන අයුරු දැකගත හැකි වූ අතර, එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ලෙස සංසරණය විය.

පොලිසිය පවසන්නේ මෙම වැඩපිළිවෙළේ අරමුණ සිසුන්ට දඬුවම් කිරීම නොව, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ගැටුම් සහ අනවශ්‍ය සිදුවීම් වළක්වා ගැනීම සහ බස් නැවතුම්පොළ තුළ විනයගරුක පරිසරයක් පවත්වාගෙන යාම බවයි. මෑත කාලයේ පොදු ප්‍රවාහන මධ්‍යස්ථානවල මගී ආරක්ෂාව සහ විනය ඉහළ නැංවීම සඳහාද බලධාරීන් වැඩි අවධානයක් යොමු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!