අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පසුගිය බදාදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත. විපක්ෂය විසින් මෙම යෝජනාව පසුගිය 21 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදෙන ලදී.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයට අනුව අද දින පාර්ලිමේන්තු කාලසටහන පහත පරිදි වෙනස් කර ඇත:
පෙරවරු 9.30 – 10.00: ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු.
පෙරවරු 10.00 – 11.00: වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා.
පෙරවරු 11.00 – 11.30: ස්ථාවර නියෝග 27/2 යටතේ වන ප්‍රශ්න සඳහා.
පෙරවරු 11.30 – පස්වරු 5.30: අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය.
මෙම විශේෂ විවාදය හේතුවෙන් අද දින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරි දිනකදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.



