31.1 C
Galle

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්

Published:

කාන්තාවන්ට සහ පිරිමින්ට වෛද්‍ය නිර්දේශ මත සිය ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අවසර ලබාදෙන සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛය ඇතුළු ඒ සම්බන්ධ නීතිමය විධිවිධාන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 ජූලි 20 වැනිදා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ලබාදුන්නේ පෙත්සමට එරෙහිව ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමිනි.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසිනි. ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා සිටියේ 2015 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලිංගික අනන්‍යතා සහතිකය (Gender Recognition Certificate – GRC) නිකුත් කිරීමේ ක්‍රමවේදය, ඒ අනුව උපන් සහතික හා ජාතික හැඳුනුම්පත්වල නම සහ ලිංගිකත්වය සංශෝධනය කිරීමට ඉඩ ලබාදෙන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ චක්‍රලේඛය සහ 2024 අංක 37 දරන කාන්තා සවිබල ගැන්වීමේ පනතේ අදාළ විධිවිධාන බලරහිත කරන ලෙසයි.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු ප්‍රකාශ කළේ ජීව විද්‍යාත්මකව පුද්ගලයෙකුගේ ස්ත්‍රී හෝ පුරුෂ භාවය වෙනස් කළ නොහැකි බැවින්, වෛද්‍ය සැත්කම් මගින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට සහ ඒ අනුව නව උපන් සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නීතිමය බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම නීතියෙන් නියම කර ඇති කාලසීමාව ඉක්මවා ගොනු කර ඇති බැවින් එය විභාග කළ නොහැකි බවයි. ඔහු පෙන්වා දුන්නේ අභියෝගයට ලක්කර ඇති චක්‍රලේඛ 2015 සිට 2024 දක්වා කාලයේ නිකුත් කළ ඒවා වුවද, පෙත්සම ගොනු කර ඇත්තේ 2026 වසරේදී බවයි.

මෙම නඩුවේ අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස පෙනී සිටි ආචාර්ය රාධිකා කුමාරස්වාමි ඇතුළු පිරිස වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුව මගින් සම්මත කර කථානායකවරයාගේ අත්සනින් නීතියක් බවට පත් වූ 2024 අංක 37 දරන කාන්තා සවිබල ගැන්වීමේ පනත මෙවැනි පෙත්සමක් මගින් බලරහිත කළ නොහැකි බවයි.

එමෙන්ම කාන්තා මාධ්‍ය එකමුතුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ, වත්මන් ජනාධිපතිවරයා පෞද්ගලිකව වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි ව්‍යවස්ථාවට පටහැනි බවයි.

කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා පෙත්සම්කරුගෙන් විමසා සිටියේ මෙම චක්‍රලේඛ හේතුවෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ කෙසේද යන්නයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීතිමය පදනමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වූ බව විනිසුරු මඬුල්ලේ අදහස විය.

ඒ අනුව අතරමැදි පාර්ශ්වකරුවන් සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබා නොදී එය නිෂ්ප්‍රභ කළේය.

මෙම තීන්දුවත් සමඟ දැනට ක්‍රියාත්මක වන ලිංගික අනන්‍යතා සහතිකය (GRC) නිකුත් කිරීමේ ක්‍රමවේදය සහ ඒ අනුව සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට උපන් සහතික, ජාතික හැඳුනුම්පත් සහ අනෙකුත් නිල ලේඛනවල නම සහ ලිංගික තොරතුරු සංශෝධනය කර ගැනීමට ඇති පහසුකම් තවදුරටත් වලංගු ලෙස පවතිනු ඇත.

නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙම තීන්දුව සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට නව අයිතිවාසිකම් ලබාදුන් තීන්දුවක් නොව, වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන පරිපාලන ක්‍රමවේදය අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව තහවුරු කළ වැදගත් නීතිමය තීන්දුවක් බවයි.

Related articles

spot_img
error: Content is protected !!