කොග්ගල ප්‍රදේශයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති, වර්ණ සංඥා පමණක් ක්‍රියාත්මක වන දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටී 65 හැවිරිදි සිව්දරු මවක් පෙරේදා (26) පෙරවරුවේ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හබරාදුව, කොග්ගල ගුඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි පුංචි හේවාගේ පියවතී මහත්මියයි. පොලිසියට අනුව, බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියේ ඇය ගැටී මෙම අනතුර සිදුව ඇත්තේ පෙරවරු 10.10ට පමණ, කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි දුම්රිය හරස් මාර්ගයේදීය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඇය ගාල්ල–මාතර ප්‍රධාන මාර්ගය දෙසට යෑම සඳහා දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම අනතුරට මුහුණදී ඇති බවයි.
මෙම අනතුරට තවත් සංවේදී මුහුණුවරක් එක්වන්නේ, එදින උදෑසන නිවසේදී පිසූ කිරිබත් පාර්සලයක් ද රැගෙන ඇය නිවසින් පිටත්ව ගොස් තිබීමත් සමඟය.
මීට වසර 20කට පමණ පෙර සැමියා අහිමි වූ පියවතී මහත්මිය දරුවන් සිව්දෙනකුගේ මවකි. ඇය වැඩිමල් පුත්‍රයා වන රත්මල්දූව බදුගේ චමින්ද මහතා සමඟ ජීවත් වී ඇත. ත්‍රිරෝද රථ රියදුරෙකු වන චමින්ද මහතා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සඳහන් කළේ, එදින උදෑසන මව විසින් පිසූ කිරිබත් තමන් ආහාරයට ගෙන රැකියාවට පිටත්ව ගිය බවත්, ඉතිරි වූ කිරිබත් අසල පදිංචි නැගණියගේ නිවසට රැගෙන යෑමට මව නිවසින් පිටත්වන්නට ඇති බවත්ය.
“මිතුරෙක් ඇවිත් ‘අම්මා වගේ කෙනෙක් දුම්රියේ හැපිලා වැටිලා ඉන්නවා’ කියලා කිව්වා. මම එතනට ගියාම ඒ මගේ අම්මා කියලා හඳුනාගත්තා,” යැයි ඔහු සංවේගයෙන් ප්‍රකාශ කළේය.
“තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 14යි. අම්මා තමයි අපි හතරදෙනා හදාගත්තේ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුර සිදුවූ ස්ථානය අසල ඇය රැගෙන ගිය කිරිබත් පාර්සලය බිම වැටී තිබූ බව පොලිසිය සඳහන් කළේය. එමෙන්ම දුම්රිය මාර්ගය අසල පිහිටි කොන්ක්‍රීට් කණුවක ඇය ගැටුණු බවට සැක කෙරෙන සලකුණු ද නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය පැවසීය.
ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය පබසරා ගුණසිංහ මහත්මියගේ වෛද්‍ය වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ හබරාදුව හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණී තිලක මහතා සඳහන් කළේ, හිස, කොඳුඇට පෙළ, පපු ප්‍රදේශය, උදරය සහ අත්පා ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයකට සිදුවූ බහුවිධ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, දුම්රිය රියදුරුගේ සාක්ෂිය මෙතෙක් සටහන් කර නොමැති බැවින් මරණයට නිශ්චිත හේතුව පිළිබඳ අවසන් නිගමනය ප්‍රකාශ කිරීම තාවකාලිකව කල් දැමූ මරණ පරීක්ෂකවරයා, දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන්ට භාරදීමට නියෝග කළේය.
මරණ පරීක්ෂණය අවසානයේ මරණ පරීක්ෂකවරයා විශේෂයෙන් අවධාරණය කළේ, මෙම දුම්රිය හරස් මාර්ගයේ සෑම වසරකම මෙවැනි අනතුරු කිහිපයක් වාර්තා වන බවයි. වර්ණ සංඥා පමණක් පවතින මෙම ස්ථානයේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්වයංක්‍රීය ආරක්ෂිත ගේට්ටුවක් හෝ වෙනත් සුදුසු ආරක්ෂක ක්‍රමවේදයක් කඩිනමින් ස්ථාපිත කිරීම අදාළ බලධාරීන්ගේ වගකීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



