වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව සේවය කළ 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, අද (29) අළුයම 5.30ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇති බවයි. පොලිස් ස්ථානයේ ප්‍රධාන පිවිසුම අසල වෙඩි වැදී සිටි කොස්තාපල්වරයා හමුවීමෙන් අනතුරුව වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙසේ මියගොස් ඇත්තේ පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ අදාළ පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මරණයට හේතුව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මේ අතර, පොලිස් දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ මානසික සෞඛ්‍ය සහ සුබසාධනය සම්බන්ධ වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බවත්, අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා නිලධාරීන් දිරිමත් කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
උදව් අවශ්‍ය නම්
ඔබ හෝ ඔබ දන්නා අයෙකු දැඩි මානසික පීඩනයකින්, අසරණභාවයකින් හෝ සියදිවි හානි සිතුවිලිවලින් පෙළෙන්නේ නම්, වහාම විශ්වාසවන්ත පුද්ගලයෙකු, වෛද්‍යවරයෙකු හෝ පහත සහාය සේවා අමතන්න.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ (Sumithrayo) – 011 269 2909
ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව – 1926
හදිසි අවස්ථාවකදී – 1990 (සුවසැරිය) හෝ ආසන්නතම රෝහල අමතන්න.



