ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඒකමතිකව විරෝධය පළ කර තිබේ.
අද (29) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
මෙම රැස්වීමට නීතිඥවරුන් 3,000ත් 4,000ත් අතර පිරිසක් සෘජුව සහ සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වී ඇති අතර, ඡන්ද විමසීමේදී සහභාගි වූ සියලුම සාමාජිකයන් යෝජනාවට විරුද්ධව අත් ඔසවා තම විරෝධය ප්‍රකාශ කළ බව අමරසූරිය මහතා සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව නීති ක්ෂේත්‍රයේ පාර්ශ්ව රැසකගේ විරෝධයට ලක්ව ඇති බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය, ජනාධිපති නීතිඥවරුන් සහ දේශපාලන පක්ෂ කිහිපයක් ද මෙම යෝජනාවට විරෝධය පළ කර ඇති බව ඔහු පැවසීය.
නීතිඥ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ, මෙම යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවත්, එය දීර්ඝකාලීන ප්‍රතිවිපාක ඇති කළ හැකි තීරණයක් බවත්ය. යෝජනාව ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව අදහස් කරන්නේ නම් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
තවද, මෙම යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු අධිකරණ පද්ධතියේ නිලධාරීන් අපහසුතාවයට පත් කළ හැකි බවත්, නීතිඥ සංගමයේ අදහස් සලකා බැලීමෙන් එය නවතා දැමිය හැකි බවත් අමරසූරිය මහතා කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මාස දෙකකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම යෝජනාවට විරෝධය පළ කරමින් සිටියද, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව මෙතෙක් අවස්ථාවක් ලබා දී නොමැති බවයි. අද (29) සවස 5ට අධිකරණ අමාත්‍යවරයා හමුවී නීතිඥ සංගමයේ ස්ථාවරය නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.ෙ
විශේෂ මහ සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, ආණ්ඩුවේ යෝජනාවට නීතිඥ සංගමයේ සාමාජිකයින් ඒකමතිකව විරෝධය පළ කළ බවයි.
ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පසුගිය ජූලි 27 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර, එය මේ වන විට නීති ක්ෂේත්‍රය තුළ පුළුල් සංවාදයකට ලක්ව තිබේ.



