බෙන්තර සංචාරක කලාපයේ විනෝදාස්වාදය සඳහා ගුවනින් සංචාරය කරමින් සිටි පැරා මෝටර් (paramotor) යානයක් මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් කළ 31 හැවිරිදි පලස්තීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙන්තර පොලිසිය පවසයි.
අනතුර අද (29) සවස 5.00ට පමණ බෙන්තර පොලිස් වසමේ වෙරළ පාරේ, බෙන්තොට ජනාධිපති නිවාඩු නිකේතනය ඉදිරිපිට මුහුදු තීරයේදී සිදුවී ඇත.
පොලිසිය සඳහන් කළේ, පුද්ගලික ආයතනයක් මගින් සංචාරකයින් සඳහා ක්‍රියාත්මක කරනු ලබන මෙම ගුවන් සංචාරක සේවයට අයත් පැරා මෝටර් යානය පියාසර කරමින් සිටියදී ඇති වූ බව කියන කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදට කඩා වැටී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ කොලොම්බියානු ජාතික නියමුවෙකු සහ පලස්තීන ජාතික කාන්තාවක් ගමන් කර ඇත. නියමුවා අනතුරෙන් දිවි බේරාගෙන ඇති අතර, කාන්තාව මුහුදට වැටීමෙන් අනතුරුව අතුරුදහන් වී තිබිණි.
පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඇයගේ මළ සිරුර බෙන්තර ප්‍රදේශයේ මුහුදු තීරයෙන් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට භාර දී තිබේ.
මෙම අනතුරට හේතුව සම්බන්ධයෙන් බෙන්තර පොලිසිය සහ අදාළ ගුවන් ක්‍රීඩා හා සංචාරක ක්‍රියාකාරකම් පිළිබඳ බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
බෙන්තර වෙරළ තීරයේ සංචාරකයින් සඳහා පැරා මෝටර් සහ අනෙකුත් ගුවන් විනෝදාස්වාද ක්‍රියාකාරකම් පුළුල් ලෙස ක්‍රියාත්මක වන අතර, මෙම අනතුරත් සමඟ එම සේවාවල ආරක්ෂිත ප්‍රමිතීන් පිළිබඳ අවධානය යොමුව තිබේ.



