රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
චීනයේ නිංබෝ (Ningbo) නගරයේ මූලස්ථානය පිහිටි Hongkong Jihang International Shipping Co., Ltd සමාගම, සිය MV JI ZHE 6 නෞකාව ප්‍රථම වරට කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) වෙත සම්ප්‍රාප්ත කරමින් ශ්‍රී ලංකා වෙළඳපොළට නිල වශයෙන් පිවිස තිබේ.
මෙම සම්ප්‍රාප්තියත් සමඟ කොළඹ වරාය, චීනය, ඉන්දියාව, චිටගොං, මැලේසියාව සහ රතු මුහුද ආශ්‍රිත කලාප අතර නව නාවික සම්බන්ධතාවක කොටස්කරුවෙකු බවට පත්ව ඇති අතර, කලාපීය භාණ්ඩ ප්‍රවාහන ජාලයේ වැදගත් ව්‍යාප්තියක් ලෙස මෙය සැලකේ.
Hongkong Jihang International Shipping Co., Ltd සමාගම මේ වනවිට ආසියානු සහ රතු මුහුද ආශ්‍රිත ප්‍රධාන වෙළඳ මාර්ග රැසක නෞකා සේවා පවත්වාගෙන යන අතර, කොළඹ වරාය එම ජාලයට එක්වීම ශ්‍රී ලංකාවේ ආනයන–අපනයන වෙළඳාමට සහ ප්‍රතිඅපනයන (Transshipment) භාණ්ඩ ප්‍රවාහනයට නව අවස්ථා රැසක් උදා කරනු ඇතැයි ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් MV JI ZHE 6 නෞකාවේ විශේෂ සමරු ඵලක හුවමාරු කිරීමේ උත්සවයක් ද පැවැත්විණි.
උත්සවයට CICT කළමනාකාරීත්වය, Ocean Lanka Lines (Pvt) Ltd (OCL) සභාපති හැඩ්ලි රොඩ්‍රිගෝ මහතා, ILM Holdings සමාගමේ අධ්‍යක්ෂ (මෙහෙයුම් හා අලෙවිකරණ) ට්‍රෙසෙල් සිල්වා මහතා, Hongkong Jihang සමාගමේ නියෝජිත පෝල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
උත්සවයේදී අදහස් දැක්වූ Hongkong Jihang සමාගමේ නියෝජිත පෝල් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ නියෝජිතායතනය ලෙස Ocean Lanka Lines සමාගම තෝරා ගැනීමට පෙර නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන කිහිපයකින්ම ඉල්ලීම් ලැබී තිබූ බවයි.
“දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇගයීමෙන් අනතුරුව Ocean Lanka Lines සමාගම අපගේ ශ්‍රී ලාංකේය නියෝජිතයා ලෙස පත් කිරීමට තීරණය කළා. ආරම්භයේ සිටම ඔවුන් දැක්වූ වෘත්තීයභාවය සහ කැපවීම අපට විශාල විශ්වාසයක් ලබා දුන්නා,” යැයි ඔහු පැවසීය.
OCL සමාගමේ මෙහෙයුම් හා අලෙවි අධ්‍යක්ෂ ට්‍රෙසෙල් සිල්වා මහතා සතු ක්ෂේත්‍ර අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ පවතින සබඳතා ද මෙම තීරණයට බලපා ඇති බව පෝල් මහතා සඳහන් කළේය.
Ocean Lanka Lines සභාපති හැඩ්ලි රොඩ්‍රිගෝ මහතා සඳහන් කළේ, කොළඹ වරාය කලාපයේ ප්‍රධාන ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස ඉතා උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති බවයි.
“Hongkong Jihang Shipping සමාගමේ ශ්‍රී ලංකා නියෝජනය අප වෙත පැවරීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. උසස් නියෝජිත සේවාවක් සහ වෙළඳපොළ සංවර්ධන පියවර හරහා එම සමාගමේ වාණිජ ඉලක්ක සපුරාලීමට අපි කැපවී සිටිනවා,” යැයි රොඩ්‍රිගෝ මහතා පැවසීය.
ට්‍රෙසෙල් සිල්වා මහතා සඳහන් කළේ, මෙම සහයෝගීතාවය හරහා කොළඹ වරාය හරහා සිදුවන දේශීය සහ ප්‍රතිඅපනයන භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට හැකි වනු ඇති බවයි.
“CICT, ෆීඩර් මෙහෙයුම්කරුවන්, ප්‍රධාන නාවික සමාගම්, කන්ටේනර් අංගණ සහ ලොජිස්ටික්ස් පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් මෙම සේවාව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අපගේ කණ්ඩායම සූදානම්,” යැයි ඔහු පැවසීය.
නාවික ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ, Hongkong Jihang Shipping සමාගම කොළඹ වරාය සමඟ එක්වීම කොළඹ වරායේ කලාපීය ස්ථානගතවීම තවදුරටත් ශක්තිමත් කරන සුබවාදී පියවරක් බවයි.
මෙමගින් කොළඹ වරායේ නාවික සමාගම් සහභාගීත්වය තවදුරටත් විවිධාංගීකරණය වන අතර, ආසියානු නාවික හා ලොජිස්ටික්ස් ජාලයේ ප්‍රධාන ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ භූමිකාව තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
MV JI ZHE 6 නෞකාවේ මෙම මංගල සම්ප්‍රාප්තිය, Hongkong Jihang International Shipping Co., Ltd, Ocean Lanka Lines (Pvt) Ltd සහ CICT අතර නව උපායමාර්ගික සහයෝගීතාවයක ආරම්භය සනිටුහන් කරන අතර, එය ශ්‍රී ලංකාවේ නාවික සහ ප්‍රතිඅපනයන ක්ෂේත්‍රයට වැදගත් වර්ධන අවස්ථාවක් ලෙස සැලකේ.



