මහර බන්ධනාගාරයේ අද (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් රැඳවියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තත්ත්වය හේතුවෙන් රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත මෙම නොසන්සුන්තාවය හටගත් බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යොදවා තිබේ. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ, රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇති අතර, එම ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
මේ අතර, මහර බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කළේය. එමගින් බන්ධනාගාර පරිශ්‍රය ඇතුළත තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් වේ.
අද පස්වරුවේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන් විශාල පිරිසක් මහර බන්ධනාගාරයට පැමිණ සිටියද, ආරක්ෂක හේතූන් මත ඔවුන්ට ඇතුළුවීමට අවසර ලබා දී නොමැත. බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසුණු බව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබේ.
ඒ සමඟ බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටි පිරිසක් පොලිස් මුර බාධක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කිරීමෙන් තවත් නොසන්සුන්තාවක් ඇති වී තිබේ. එහිදී ආරක්ෂක අංශ ජනතාව පාලනය කිරීමට පියවර ගත් අතර, ඔවුන් වෙත ගල් ප්‍රහාර කිහිපයක් ද එල්ල වූ බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ජල ප්‍රහාරක රථ ද එම ස්ථානය වෙත කැඳවා තිබිණි.
පොලීසිය පවසන්නේ බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රධාන නොසන්සුන්තාව මේ වන විට පාලනය කර ඇති බවත්, බන්ධනාගාරය අවට රැඳී සිටින ජනතාවට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්ය. කෙසේ වෙතත්, රැඳවියන්ගේ ඥාතීන් තවමත් බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින බව වාර්තා වේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින අතර, සිද්ධියට හේතු වූ කරුණු පිළිබඳ නිල ප්‍රකාශයක් මේ වන තෙක් නිකුත් කර නොමැත.



