28.3 C
Galle

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි

Published:

මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි. සියලු රැඳවියන් ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, බන්ධනාගාරය තුළ ආරක්ෂක තත්ත්වය ස්ථාවර කර ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත්, රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකව පවතින බව පොලීසිය ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ හා අවට පවතින ආරක්ෂක මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා නව යුද හමුදාපතිවරයා ද ඊයේ රාත්‍රී මහර බන්ධනාගාර පරිශ්‍රයට පැමිණි බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

එමෙන්ම, බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 (Bell 412) හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යානා ද යොදවා තිබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බන්ධනාගාර ආරංචි මාර්ග අනුව, රැඳවියන්ගේ සුවදුක් විමසීම සඳහා ඥාතීන් පිරිසක් පැමිණ සිටි අවස්ථාවේ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් විසි කිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබූ අතර, උණුසුම්කාරී තත්ත්වය අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලකට ගිනි තබා ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය හේතුවෙන් සිරකරු ලියාපදිංචි අංශය, ප්‍රධාන ජේලර් කාර්යාලය ඇතුළු බන්ධනාගාරයේ ස්ථාන කිහිපයකට අලාභ හානි සිදුව ඇති බවද වාර්තා වේ.

නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.

සිද්ධියට හේතු වූ කරුණු සහ බන්ධනාගාරයේ සිදුවූ අලාභ හානි පිළිබඳව පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!