දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැසි, තද සුළං, නායයෑම් සහ ගංවතුර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.
උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40–50 දක්වා තද සුළං ඇතිවිය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළංවලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.
නායෑම් අනතුරු ඇඟවීම්
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊයේ (02) රාත්‍රී 11.00ට නිකුත් කළ මෙම නිවේදනය අද (03) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන් වේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද එම මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අරණායක සහ දෙහිඕවිට (කෑගල්ල), නුවරඑළිය, තලවකැලේ, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර (නුවරඑළිය) සහ නිවිතිගල හා රත්නපුර (රත්නපුර) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහවැලි පහත් බිම්වල ගංවතුර අවදානමක්
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (03) පෙරවරු 12.30ට නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවා තිබේ.
උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මුහුදු යන්න එපා
නාවික සහ ධීවර ප්‍රජාවටද විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60–70 දක්වා වැඩිවිය හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බවද සඳහන් වේ.
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලද සුළං වේගය පැයට කිලෝමීටර් 50–60 දක්වා වැඩිවිය හැකි බැවින් ධීවරයින් සහ නාවික කටයුතුවල නිරත පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව දැනුම් දී තිබේ.
හැටන්, නුවරඑළිය කළාපවල පාසල් ගැන තීරණයක්
මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් පාසල් පවත්වාගෙන යාම හෝ වසා තැබීම පිළිබඳ තීරණය අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
ඉදිරි දින කිහිපය තුළත් වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවට කාලගුණ අංශ පෙන්වා දෙන බැවින්, විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත කඳුකර ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාව නිල නිවේදන පිළිබඳ සැලකිලිමත්ව සිටිමින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.



