කොළඹ වරායට බටහිර දෙසින් මුහුදට වැටුණු කන්ටේනර් බහාලුම් තොගයෙන් එක් බහාලුමක් ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ වෙරළ තීරයට අද (03) පෙරවරුවේ ගොඩගසා තිබේ.
රත්ගම ප්‍රදේශවාසීන් විසින් වෙරළ තීරයට ගොඩගසා තිබූ මෙම කන්ටේනරය දැක ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇති අතර, පසුව රත්ගම පොලිසිය විසින් සමුද්‍රීය අංශ සහ අදාළ බලධාරීන්ට ඒ බව දැනුම් දී තිබේ.
දකුණු පළාත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පිරිසක් ස්ථානයට පැමිණ කන්ටේනරය නිරීක්ෂණය කර ඇති අතර, එහි ඇතුළත තිබී වෙරළට ගොඩගසා තිබූ රිජිෆෝම් කැබලි සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ, කොළඹ වරායට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළෙඳ නෞකාවකින් හිස් කන්ටේනර් බහාලුම් 17ක් මුහුදට වැටී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඒවා මේ වනවිට මුහුදේ පාවෙමින් පවතින බැවින් සියලුම ධීවර යාත්‍රා සහ නාවික කටයුතුවල නිරත පිරිස් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස හදිසි දැනුම්දීමක් නිකුත් කර තිබේ.
නාවික ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය දිනවල පැවති දැඩි සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් කොළඹ වරායට නුදුරින් ගමන් කළ වෙළෙඳ නෞකාවක තිබූ හිස් කන්ටේනර් කිහිපයක් ගැලවී මුහුදට වැටී ඇති බවට සැක කෙරෙන බවයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය සහ සමුද්‍රීය ආරක්ෂණ අංශ එක්ව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
මුහුදේ පාවෙමින් පවතින තවත් කන්ටේනර් කිහිපයක් දකුණු වෙරළ තීරය ඔස්සේ ගසාගෙන ඒමේ අවදානමක් පවතින බවට සමුද්‍රීය බලධාරීහු අනතුරු අඟවති. රළු මුහුදු තත්ත්වය සහ දකුණු දිග මුහුදු ධාරා හේතුවෙන් ඒවා රත්ගම, හික්කඩුව, අම්බලන්ගොඩ, බෙන්තොට සහ ගාල්ල ආශ්‍රිත වෙරළ තීරයන්ට ගොඩගසා ඒමේ හැකියාවක් පවතින බවද සඳහන් වේ.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, හිස් කන්ටේනරයක් වුවද එහි තිබූ රිජිෆෝම් සහ අනෙකුත් කෘත්‍රිම ද්‍රව්‍ය මුහුදට මුදාහැරීමෙන් සාගර පරිසරයට හානි සිදුවිය හැකි බවයි. එවැනි ද්‍රව්‍ය කුඩා කොටස් බවට පත්ව මුහුදු ජීවීන් විසින් ආහාර ලෙස ගිල දැමීමෙන් ජලජ පරිසර පද්ධතියට දීර්ඝකාලීන බලපෑම් ඇතිවිය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
මේ අතර, වෙරළට ගොඩගසා ඇති කන්ටේනර් හෝ එහි තිබිය හැකි ද්‍රව්‍ය ස්පර්ශ නොකරන ලෙසත්, එවැනි කිසිදු වස්තුවක් දක්නට ලැබුණහොත් වහාම පොලීසිය, නාවික හමුදාව හෝ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුවත් කරන ලෙසත් බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.



