26.1 C
Galle

කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ

Published:

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

අද (03) පෙරවරු 11.30ට නිකුත් කළ නව නිවේදනය අනුව, මෙම අනතුරු ඇඟවීම අගෝස්තු 05 වැනිදා පෙරවරු 11.30 දක්වා වලංගු වේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැලණි ගඟ ද්‍රෝණියේ ජල මට්ටම් සහ වර්ෂාපතන තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, විශේෂයෙන් පහත් බිම්වල ජීවත් වන පිරිස් ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් දැනුම් දී ඇත. එමෙන්ම කැලණි ගඟ ආශ්‍රිත අතුරු මාර්ග භාවිත කරන රියදුරන් වැසි සහ ජලය පිරී ඇති මාර්ග හේතුවෙන් අධික අවධානයෙන් රිය ධාවනය කළ යුතු බවද නිවේදනයේ සඳහන් වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරු 12.30ට නිකුත් කළ දිවයිනපුරා ගංගා ජල මට්ටම් සහ වර්ෂාපතන තත්ත්වය පිළිබඳ වාර්තාව අනුව, කිතුල්ගල ප්‍රදේශයේ කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7.50 දක්වා ඉහළ ගොස් ඇති අතර එය “ප්‍රධාන ගංවතුර” මට්ටමට ළඟා වී ඇත. එමෙන්ම නාවලපිටිය ප්‍රදේශයේ මහවැලි ගඟේ ජල මට්ටම මීටර් 7.65 දක්වා ඉහළ ගොස් “ප්‍රධාන ගංවතුර” මට්ටමට පැමිණ ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

මහවැලි ගඟේ පේරාදෙණිය මිනුම් ස්ථානයේ ජල මට්ටම මීටර් 6.52ක් ලෙස වාර්තා වී ඇති අතර එය “අවධානයෙන් සිටිය යුතු” මට්ටමට අයත් බවද වාර්තාව පෙන්වා දෙයි. රත්නපුර ප්‍රදේශයේ කළු ගඟේ ජල මට්ටම මීටර් 6.52 දක්වා ඉහළ ගොස් “අනතුරු ඇඟවීමේ” මට්ටමට පැමිණ ඇති අතර කැහැල්ලගම ඔය නෝර්වුඩ් ප්‍රදේශයේ “සුළු ගංවතුර” තත්ත්වයක් වාර්තා වී තිබේ.

මේ අතර, නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද (03) අලුයම සිට වාන් දැමීම ආරම්භ කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළේය.

ජලාශයෙන් ජලය මුදාහැරීමත් සමඟ කැලණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව එම ඒකකය සඳහන් කළ අතර, ගඟට ආසන්න පහත් බිම්වල පදිංචි ජනතාව සහ ගඟ හරහා ගමන් කරන පිරිස් විශේෂ අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වල තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ගංවතුර, නායයෑම් සහ ජලයෙන් යටවීමේ අවදානම් තත්ත්වයන් පිළිබඳ නිල නිවේදන පිළිපදිමින් ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි.

Related articles

spot_img
error: Content is protected !!