26.1 C
Galle

කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට

Published:

අහංගම, කතළුව ජූල්ගහ කොරටුව ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ හෝටලයක තාප්ප කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි කම්කරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කනංකෙ, බටපොත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි එදිරි රූපන් කංකානම්ගේ ජයන්ත නැමැති තිදරු පියෙකි.

පොලිසිය සඳහන් කළේ, මෙම අනතුර පෙරේදා (01) දහවල් 1.30ට පමණ සිදුව ඇති බවයි. ජයන්ත මහතා එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල නිරත පෙදරේරුවන්ට අත්උදව්කරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇති බවද අනාවරණය වී තිබේ.

මියගිය අයගේ බිරිඳ පවසා ඇත්තේ, සිය සැමියා දිගු කාලයක් තිස්සේ මේසන් බාස්වරුන් සමඟ අත්උදව්කරුවෙකු ලෙස සේවය කළ බවත්, සිද්ධිය වූ දිනයේ උදෑසන 7.30ට පමණ සුපුරුදු පරිදි රැකියාව සඳහා නිවසින් පිටත්ව ගිය බවත්ය. දහවල් කාලයේදී සැමියාට අනතුරක් සිදුව ඇති බව පසුව දැනගත් බවද ඇය සඳහන් කර ඇත.

අනතුර සිදුව ඇත්තේ හෝටලය සඳහා ඉදිකරමින් තිබූ තාප්ප කොටසක කණුවක් සවිකිරීමේ කටයුත්තක් අතරතුර බව පොලිසිය පවසයි. එම ස්ථානයේ සිටි පෙදරේරුවන් ප්‍රකාශ කර ඇත්තේ, කොන්ක්‍රීට් දැමීම සඳහා අවශ්‍ය ලෑලි කැබැල්ලක් සොයා ගැනීමට තමන් මඳ වේලාවකට ඉවතට ගොස් සිටි අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි.

ඔවුන්ගේ ප්‍රකාශ අනුව, මියගිය අය කණුවට සවි කර තිබූ මුක්කු බුරුල් කිරීමට උත්සාහ කිරීමේදී තාප්ප කොටස කඩා වැටී ඔහු ඊට යටවන්නට ඇති බවට සැක කෙරේ.

ශබ්දයක් ඇසී එම ස්ථානයට දිව ගොස් බැලූ විට ජයන්ත මහතා තාප්පයට යටවී සිටි බවත්, වහාම ඔහුව ඉවතට ගෙන 1990 සුවසැරිය ගිලන් රථ සේවයට දැනුම් දුන් බවත් ඔවුහු පැවසූහ. විනාඩි දහයක පමණ කාලයකින් ගිලන් රථය පැමිණියද, එහි පැමිණි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව හදිසි මරණ පරීක්ෂක ගීතා චතුරානි මහත්මිය විසින් ගාල්ල ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පවත්වා ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසිනි නිරුද්ධිකා මහත්මියගේ වාර්තාව, නිරීක්ෂණ සහ ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මරණ පරීක්ෂකවරිය තීන්දු කර ඇත්තේ, අනතුර හේතුවෙන් පපුවට සහ කොඳුඇට පෙළට සිදුවූ බහුවිධ තුවාල මෙම මරණයට හේතු වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related articles

spot_img
error: Content is protected !!