26.1 C
Galle

මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්

Published:

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා රතු මට්ටමේ (Red) ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (03) පස්වරු 1.00ට නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව, ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල දැඩි ගංවතුර තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් පවතින අතර, මෙම අනතුරු ඇඟවීම 2026 අගෝස්තු 5 වැනිදා පස්වරු 1.00 දක්වා වලංගු වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පසුගිය පැය කිහිපය තුළ මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාව, ඉදිරියටත් තද වැසි ඇතිවිය හැකි බවට වන කාලගුණ අනාවැකි සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම රතු අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.

මෙම අනතුරු ඇඟවීම උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොළුව, කොත්මලේ, පස්බාගේ කෝරළේ, ගඟඉහළ කෝරළේ, ගඟවට කෝරළේ, හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟට ආසන්න පහත් බිම් ප්‍රදේශවලට අදාළ වේ.

එම ප්‍රදේශවල මහවැලි ගඟ ආශ්‍රිතව සහ පහත් බිම්වල පදිංචි ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ආපදා කළමනාකරණ බලධාරීන්ටද අවශ්‍ය ආරක්ෂක සහ සහන කටයුතු සඳහා සූදානම් වන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මේ අතර, නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද අලුයම සිට වාන් දැමීමට ආරම්භ කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. ඒ හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

එමෙන්ම, කැලණි ගඟ ද්‍රෝණිය සඳහා පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමද තවත් පැය 48කින් දීර්ඝ කර ඇති අතර, එය අගෝස්තු 5 වැනිදා පෙරවරු 11.30 දක්වා වලංගු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත්තේ මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. සබරගමුව පළාතේ සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

මේ තත්ත්වය හමුවේ, මහවැලි ගඟ සහ කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් නිල දැනුම්දීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, ගංවතුර අවදානමක් පවතින මාර්ගවලින් ගමන් කිරීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් බලධාරීහු ඉල්ලා සිටිති.

Related articles

spot_img
error: Content is protected !!