කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ඇතුළත මහා ගංවතුර තත්ත්වයක් හට ගැනීමේ දැඩි අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනය කරයි.
අද (03) පස්වරු 1.30 ට නිකුත් කරන ලද අංක 03 දරන විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයට අනුව, ගංඟා ධාරා ප්‍රදේශවල පිහිටුවා ඇති ජල මාපකවල අගයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ඉදිරියටත් තද වැසි අපේක්ෂා කරන බැවින් ගඟේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බව පැවසේ.
දෙහිඕවිට, යටියන්තොට සහ රුවන්වැල්ල දැඩි අවදානමකට ලක්විය හැකි ප්‍රදේශ ලෙස සඳහන් වේ.
ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කැලණි ගංගා නිම්නයේ පහත්බිම්වල පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු අතර, ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට අවශ්‍ය පූර්ව ආපදා සූදානමකින් පසුවන ලෙස ආපදා කළමනාකරණ බලධාරීන් ඉල්ලා සිටී.
එසේම, කැලණි ගඟ පරිහරණය කරන පුද්ගලයින් සහ මෙම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථවාහන රියදුරන්ද දැඩි ලෙස ප්‍රවේසම් විය යුතුය. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (අගෝස්තු 04) පස්වරු 1.30 දක්වා වලංගු වන අතර, පවතින තත්ත්වය අනුව ඉදිරියේදී ද යාවත්කාලීන කිරීම් නිකුත් කිරීමට නියමිතය.



