28.6 C
Galle

හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Published:

රාජ්‍ය මුදල් සහ සේවකයින් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 2.7කට අධික පාඩුවක් සිදුකළ බවට වන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (05) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, 2022 ජූලි මාසයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත හා පරිපාලන) ලෙස කටයුතු කළ සමයේ, අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල සේවකයින් පිරිසක් සහ තාවකාලික කළමනාකාර සහකාරවරුන් දෙදෙනෙකු සිය කාර්යාලයට ලබාගත් බවයි.

නමුදු එම සේවකයින් කිසිදු දිනෙක ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කර නොමැති අතර, ඉන් තිදෙනෙකු කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලේ සේවයේ යොදවා තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. එසේම, සේවකයින් දෙදෙනෙකු විදේශගත වීමෙන් පසුවත් මාස දෙකක කාලයක් රජයෙන් වැටුප් ගෙවා ඇති අතර, එමගින් රජයට රුපියල් 2,768,836.14ක පාඩුවක් සිදුව ඇති බව කොමිසම පැවසීය.

විමර්ශනයේදී ප්‍රකාශ ලබාදුන් සාක්ෂිකරුවෙකු පසුව ඊට පටහැනිව, කුලියාපිටිය ඉන්ධන පිරවුම්හලේ ඉහළ මහලේ සම්බන්ධීකරණ කාර්යාලයක් තිබූ බව කියමින් අල්ලස් කොමිසමට වෙනත් දිවුරුම් ප්‍රකාශයක් භාරදී තිබේ. මෙය සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් විය හැකි බව පෙන්වා දුන් අල්ලස් කොමිසම, සැකකරුට ඇප ලබාදුනහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවට තර්ක කළේය.

කෙසේ වෙතත්, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සේවකයින් සේවය කළේ ඉන්ධන පිරවුම්හලේ නොව සම්බන්ධීකරණ කාර්යාලයේ බවත්, ඔවුන්ගේ පැමිණීම සනාථ කරන ලේඛන කොමිසමට භාරදී ඇති බවත්ය. ඒ අනුව ඕනෑම කොන්දේසියකට යටත්ව ඇප ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ගේ මුල් ප්‍රකාශවල පරස්පරතා ඇතිවීම සහ විත්තිය ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට සැකමතු වීම හමුවේ විමර්ශනවලට බලපෑම් එල්ලවීමේ අවදානමක් පවතින බව ප්‍රකාශ කළේය. ඒ අනුව ඇප පනත ප්‍රකාරව සැකකරුට ඇප ලබාදීමට නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු ලබන අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

විත්තිය ඉදිරිපත් කළ ලේඛන පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වා මීළඟ නඩු දිනයේදී වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

නඩු විභාගය අතරතුර සැකකාර අකිල විරාජ් කාරියවසම් මහතා විත්ති කූඩුවේ සිට සිය නීතිඥවරුන් සමඟ සංවාදයක යෙදෙන අයුරු නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා ඊට සිය දැඩි විරෝධය පළ කළේය. තම අධිකරණය තුළ එවැනි හැසිරීම්වලට ඉඩ නොදෙන බවත්, එය අධිකරණ කටයුතුවලට බාධාවක් බවත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

Related articles

spot_img
error: Content is protected !!