28.4 C
Galle

ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න මහතාගේ DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ඊයේ (04) ප්‍රතික්ෂේප කළේය.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි මහත්මිය විසින් ගොනු කර ඇති සිවිල් නඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, මෙම අවස්ථාවේ DNA පරීක්ෂණයක් සඳහා නියෝගයක් නිකුත් කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බවයි. ඒ අනුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත්, නඩුවේ මූලික පැමිණිල්ල ඉදිරි පියවර සඳහා ලබන ඔක්තෝබර් 9 වැනිදා නැවත කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස චාමික කරුණාරත්න මහතා, ඔහුට දාව උපන් බව කියන ආර්යන් කරුණාරත්න නමැති බාල වයස්කාර දරුවා සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පැමිණිලිකාරිය වන රසිකා සෙව්වන්දි මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ, 2023 වසරේ හෝ ඊට ආසන්න කාලයක චාමික කරුණාරත්න මහතා තමන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බවත්, එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස ආර්යන් කරුණාරත්න නමැති දරුවා 2025 සැප්තැම්බර් 29 වැනිදා උපත ලැබූ බවත්ය.

ඇය තවදුරටත් චෝදනා කර ඇත්තේ, තමන් ගැබ්ගෙන ඇති බව දැනගත් පසු චාමික කරුණාරත්න මහතා තමන් මගහැරීමට උත්සාහ කළ අතර, දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ අනුව, අදාළ දරුවාගේ පියා චාමික කරුණාරත්න මහතා බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත්, එම කරුණ සඳහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම දරුවා සහ චාමික කරුණාරත්න මහතා DNA පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසද ඇය ඉල්ලා ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් මීට පෙර පෙනී සිටි නීතිඥවරුන් මගින් චාමික කරුණාරත්න මහතා පීතෘභාවය පිළිගත නොහැකි බවට අධිකරණයට දැනුම් දී තිබූ බවද අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස ලබාදුන් නියෝගය අනුව, දරුවාගේ පීතෘභාවය සම්බන්ධ මූලික නඩුව තවදුරටත් විභාගයට ගනු ලබන අතර, DNA පරීක්ෂණ ඉල්ලීම පමණක් මෙම අවස්ථාවේ ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව, පාර්ශව දෙක විසින් ඉදිරිපත් කර ඇති කරුණු සහ ලේඛන සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී වැඩිදුර කරුණු සලකා බැලීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!