බොරැල්ලේ පිහිටි කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ, සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි.
බන්ධනාගාර ආරංචි මාර්ග අනුව, රාත්‍රී 10.20ට පමණ බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇත.
මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බවට ආරක්ෂක අංශ සැක පළ කරයි. තවත් තොරතුරු අනාවරණය වන්නේ, බන්ධනාගාර තාප්පයට ඉහළින් ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීමත් සමඟ රැඳවියන් පිරිසක් උණුසුම්කාරී ලෙස හැසිරී ඇති බවයි.
ඉන් අනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ අතර, බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.
මේ වනවිට සියලුම රැඳවියන් නැවත ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කර ඇති බවත්, බන්ධනාගාරයේ අභ්‍යන්තර ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බවත් ආරක්ෂක අංශ සඳහන් කරයි.
සිද්ධිය අතරතුර බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා තිබූ අතර, බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ද භාවිත කර ඇත.
නොසන්සුන්තාව පිළිබඳ පුවත පැතිර යාමත් සමඟ බන්ධනාගාරය ඉදිරිපිට ජනතාව පිරිසක් රැස්ව සිටි බව ද වාර්තා වූ අතර, තත්ත්වය පාලනය කර ඇති බැවින් අනවශ්‍ය ලෙස එම ප්‍රදේශයේ රැඳී නොසිටින ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, බන්ධනාගාරය තුළට නීතිවිරෝධී භාණ්ඩ ඇතුළු වූ ආකාරය සහ එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.



