කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර හටගත් නොසන්සුන්තාවයෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසයි.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ, ඊයේ (06) රාත්‍රියේ රැඳවියන් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්තාව ආරම්භ වූ බවයි. එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළද, අද (07) උදෑසන යළිත් රැඳවියන් අතර උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති බව සඳහන් වේ.
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, තුවාල ලැබූ රැඳවියන් කිහිපදෙනෙකු රෝහල්ගත කළ බවයි. තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ද භාවිත කළ බව පොලීසිය තහවුරු කළේය.
නොසන්සුන්තාව අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වේ. සිද්ධියෙන් පසු බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට අමතර නිලධාරීන් ද යොදවා ඇති බව ද සඳහන් වේ.
මියගිය රැඳවියන්ගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, සිද්ධියට හේතු වූ කරුණු පිළිබඳව පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
බන්ධනාගාර පරිශ්‍රයේ මේ වනවිට ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇති අතර, තත්ත්වය පාලනය කර ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.



