ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) ෂානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරයට නිල වශයෙන් උසස් කර තිබේ.
මෙම උසස් කිරීම පරිපාලන අභියාචනා විනිශ්චය මණ්ඩලය (Administrative Appeals Tribunal – AAT) පසුගිය මැයි මාසයේ නිකුත් කළ නියෝගයකට අනුව සිදුකර ඇති අතර, එය 2020 අගෝස්තු 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇත.
ෂානි අබේසේකර මහතා වසර කිහිපයකට පෙර ඉදිරිපත් කළ අභියාචනයක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයකින් අනතුරුව, ඔහුට අදාළ උසස්වීම ලබාදිය යුතු බවට පරිපාලන අභියාචනා විනිශ්චය මණ්ඩලය තීරණය කර තිබිණි. එම තීන්දුව අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඔහු DIG ධුරයට උසස් කරන ලෙස උපදෙස් ලබාදී තිබුණි.
එම නියෝගය ක්‍රියාත්මක කරමින් පොලිස්පතිවරයා විසින් අද (08) නිල පොලිස් නිවේදනය නිකුත් කරමින් ෂානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කළ බව තහවුරු කර ඇත.
මෙම උසස්වීමත් සමඟ ඔහු මේ වනවිට දරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ෂානි අබේසේකර මහතා 1986 පෙබරවාරි 10 වැනි දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලීසියට එක්විය. එතැන් සිට ඔහු පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක, සහකාර පොලිස් අධිකාරී (ASP), පොලිස් අධිකාරී (SP) සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) යන තනතුරු කිහිපයක සේවය කර ඇත.
විශේෂයෙන් අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ ඔහු දැක්වූ දීර්ඝ සේවා පළපුරුද්ද සහ විශේෂ පරීක්ෂණ රැසක් සම්බන්ධයෙන් ඔහුගේ නායකත්වය හේතුවෙන් ෂානි අබේසේකර මහතා ශ්‍රී ලංකා පොලිස් සේවයේ කැපී පෙනෙන නිලධාරියෙකු ලෙස සැලකේ.



