සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයකට සහ විරෝධයකට ලක්වූ බළලෙකුට අමානුෂික ලෙස වධහිංසා පමුණුවන වීඩියෝ පටයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු තලතුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා සත්ව සුභසාධන සන්ධානය (Animal Welfare Coalition Sri Lanka) විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ තලතුඔය පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුල්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි. මෙම වධහිංසා පැමිණවීමේ සිද්ධිය මීට මාසයකට පමණ පෙර සිදුවූවක් බව සැකකරුවන් විසින් පොලීසිය හමුවේ පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 411 වගන්තිය, පොලිස් ආඥාපනතේ 63(අ) වගන්තිය සහ සත්ව වධහිංසා වැළැක්වීමේ නීති යටතේ චෝදනා ගොනුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
විශේෂත්වය වන්නේ, මෙම අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර බළල් දිනය (International Cat Day) ලෙස සැමරෙන අගෝස්තු 08 වැනිදා එනම් ඊයේ සිදුව තිබීමයි.
ජාත්‍යන්තර බළල් දිනය ලොව පුරා බළලුන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ වගකීම් සහිත සත්කාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා වෙන් කර ඇති දිනයක් වන අතර, එම දිනයේම මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම සත්ව හිංසනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත් පණිවිඩයක් බව සත්ව සුභසාධන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
තලතුඔය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



