ගාල්ල දෙවට වෙරළ තීරයේ ඉදිකර තිබූ අනවසර මාළු වෙළඳසැල් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අද (10) පෙරවරුවේ ඉවත් කරන ලදී. ඉවත් කිරීමේ කටයුතු සිදුකරන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන්ද ආරක්ෂාව සඳහා එම ස්ථානයට කැඳවා තිබිණි.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කළ වෙළෙඳුන් සඳහන් කළේ, තමන් මීට පෙර වෙළඳාම් කළ ස්ථානවලින් ඉවත් කිරීමෙන් අනතුරුව ගාල්ල මහ නගර සභාවේ බලධාරීන් විසින් වත්මන් ස්ථානයේ වෙළඳසැල් ඉදිකර දී තිබූ බවයි. එබැවින් තමන් නීති විරෝධී ලෙස මෙම ස්ථානවලට පැමිණ වෙළඳාම් කළ පිරිසක් නොවන බවත්, බලධාරීන්ගේ මැදිහත්වීම මත මෙම ස්ථානයට පැමිණි බවත් ඔවුහු පවසති. අද සිදුකළ ඉවත් කිරීම සම්බන්ධයෙන් පෙර දැනුම්දීමක් ප්‍රමාණවත් ලෙස සිදු නොකළ බවටද වෙළෙඳුන් චෝදනා කළහ. විශේෂයෙන්ම තම භාණ්ඩ, උපකරණ සහ වෙනත් දේ ඉවත් කර ගැනීමට පවා ප්‍රමාණවත් කාලයක් ලබා නොදී නිලධාරීන් පැමිණ කඩ ඉවත් කළ බවට ඔවුහු කියා සිටියහ.
කෙසේ වෙතත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස වෙළෙඳුන්ට මීට පෙර නිසි පරිදි දැනුම්දී තිබූ බවයි.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු අනුව, වෙරළ කලාපය තුළ නියමිත බලපත්‍රයකින් තොරව සංවර්ධන කටයුත්තක් සිදුකළ නොහැකි අතර, එවැනි සංවර්ධන කටයුතු සඳහා අදාළ අනුමැතිය ලබාගැනීම නීතිමය අවශ්‍යතාවකි. දෙවට වෙරළ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මීට පෙරද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් කිහිපවතාවකදී ක්‍රියාමාර්ග ගෙන තිබිණ.



