26.6 C
Galle

“මැඩ්රාස් ටෙරස්” කොන්ක්‍රීට් රස්නයට එරෙහිව සියවස් තුනක් පැරණි සිසිල් විසඳුම

Published:

අද නගරවල මෙන්ම ගම්බදවද  නිවාස බොහොමයක් කොන්ක්‍රීට් වහලවලින් ආවරණය වී ඇත. ඒවා ශක්තිමත් වුවද, දහවල් කාලයේ උරාගත් රස්නය රාත්‍රියට නිවස තුළට මුදාහරින “උණු පෙට්ටි” බවට පත්වීම බොහෝ දෙනාගේ අත්දැකීමක් වී තිබේ. මේ නිසා වායුසමීකරණ යන්ත්‍ර භවිතයෙන් තොරව එවන් නිවෙස්වල මෙ පවතින අධික උණුසුම මැද වාසය කිරීම දුෂ්කර වී තිබේ.

එහෙත් වායුසමීකරණ යන්ත්‍ර නොමැතිව ජීවත් වූ පෙරදිග රටවල පූර්වජයන්ට මෙවැනි ගැටලු නවතා ගැනීමට විශේෂ උපක්‍රමතිබිණි. එයින් එකක් නම්  “මැඩ්රාස් ටෙරස්” ලෙස හැඳින්වෙන පරණ නමුත් අතිශයින්ම බුද්ධිමත් වහල තාක්ෂණයයි.

සියවස් ගණනකට පෙර දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වූ මෙම ක්‍රමය හුදු වහලයක් නොව, ස්වභාවය සහ ඉංජිනේරු දැනුම එකට ගැළපූ සංකල්පයකි.

මෙහිදී වහලය සෙවිලි කිරීම සඳහා සිමෙන්ති සහ යකඩ භාවිතය අවම කරමින්, කුඩා හා තුනී ගඩොල් විශේෂයක් විශේෂ ආනතියකින් සවි කර, ඒවා හුණු සහ වැලි මිශ්‍රණයෙන් සකස් කළ බදාමයකින් බැඳ තබයි. එම බදාමය තවත් ශක්තිමත් කිරීමට හකුරු, ජලය සහ කඩුක්කා වැනි ස්වභාවික ද්‍රව්‍ය එකතු කිරීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.

මෙම වහලයේ සැබෑ විශේෂත්වය වන්නේ එය රස්නය සමඟ හැසිරෙන ආකාරයයි. කොන්ක්‍රීට් වහලයක් තාපය රැස් කර ගන්නා අතර, මැඩ්රාස් ටෙරස් වහලය එය පාලනය කරයි.

හුණු සහ ගඩොල් වැනි ද්‍රව්‍යවල ස්වභාවය නිසා වහලය “හුස්ම ගන්නා” ස්වභාවයක් ගනී. එමගින් වාතය හුවමාරු වෙමින් ඇතුළත උෂ්ණත්වය ස්වභාවිකව අඩු කරයි. එය නිවස තුළ උෂ්ණත්වය පිටතට වඩා සෙල්සියස් අංශක කිහිපයකින් අඩු තත්ත්වයක තබා ගැනීමට උපකාර කරයි.

කාලයත් සමඟ වහලය දුර්වල වීම වෙනුවට තවත් ශක්තිමත් වීම මෙහි තවත් විශේෂත්වයකි. හුණු බදාමය වායු සමඟ ප්‍රතික්‍රියා කරමින් “Carbonation” ක්‍රියාවලිය හරහා ගල් වැනි දෘඩත්වයක් ලබා ගනී. එම නිසා මැඩ්රාස් ටෙරස් වහලයක් වසර සියයකට වඩා වැඩි කාලයක් පවත්වා ගැනීමට හැකි බව පැරණි ගොඩනැගිලි තවමත් සනාථ කරයි.

අද ගෝලීය උණුසුම ඉහළ යන කාලයක, විදුලි පිරිවැය වැඩිවීමත් සමඟ, මෙවැනි ස්වභාවික විසඳුම් නැවත අවධානයට පැමිණෙමින් තිබේ.

වායුසමීකරණ යන්ත්‍ර මත යැපීම අඩු කරමින්, පරිසර හිතකාමී ජීවන රටාවකට මඟ පෙන්වීමට මෙය හැකි වේ. දේශීය අමුද්‍රව්‍ය භාවිතය, අඩු නඩත්තු වියදම සහ දිගුකාලීන වාසි නිසා මෙය නවීන නිවාස නිර්මාණය සඳහාත් වටිනා විකල්පයක් බවට පත්ව ඇත.

19 සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරටද මෙවන් වහල තැනීම කර තිබේ. එහෙත්, මෙම තාක්ෂණය කාලයත් සමඟ අඩු භාවිතයට පත්වූයේ ඉදිකිරීමට ගතවන වැඩි කාලය සහ එයට අවශ්‍ය දක්ෂ ශිල්පීන් හිඟ වීම නිසාය. නමුත් අද sustainability සහ පරිසර හිතකාමී නිර්මාණ ගැන වැඩි අවධානයක් යොමු වන විට, මෙවැනි පරණ දේශීය දැනුම නැවත අගය කිරීමට අවශ්‍යතාවය වැඩිවෙමින් පවතී.

අනාගතයේ නිවසක් ගොඩනැගීමේදී, කොන්ක්‍රීට් පෙට්ටි පමණක් නොව, පරිසරය සමඟ එකතු වූ ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසන මෙවැනි බුද්ධිමත් විසඳුම් පිළිබඳව සිතා බැලීම වැදගත්ය.

මේ සන්දර්භය තුළ “මැඩ්රාස් ටෙරස්” යනු පසුගිය යුගයේ උරුමයක් පමණක් නොව, ඉදිරියට යාමට මඟ පෙන්වන සිසිල් විසඳුමක්ද වේ.

See: https://www.gratitudeheritage.in/Architecture.html

Related articles

Recent articles

error: Content is protected !!