ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ චෝදනාව මත රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළිය පොලීසිය විසින් අද (21) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, බලපත්‍රයක් නොමැතිව ළඟ තබා ගත් පිස්තෝලයක් ද සමඟ නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි ප්‍රේමලාල් ජයසේකර සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් අතර බහින්බස්වීමක් සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම බහින්බස්වීම දුරදිග යාමෙන් අනතුරුව හිටපු මන්ත්‍රීවරයා පිස්තෝලයක් පෙන්වා අදාළ පිරිසට තර්ජනය කළ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ ඔහු සතුව තිබූ ගිනි අවිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නුවරඑළිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


