30 C
Galle

ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී

Published:

“ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ව අවසරයකින් තොරව, රජයේ ඉඩමක කිසිදු කොටසක් බැහැර කිරීමට නීතිඥවරයෙකුට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට නීතිමය හැකියාවක් නැහැ,” යනුවෙන් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් එච්.ජී.බී. ප්‍රගීත් රසික කුමාර මහතා පවසා සිටියේය. හෙතෙම මෙසේ පවසා සිටියේ තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රය (CEYSD) මගින් පසුගියදා ගාල්ලේ දී සංවිධානය කර තිබූ ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනි.

දකුණු පළාතේ ඉඩම් ගැටලු පවතින පුද්ගයන් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී ප්‍රාදේශීය ලේකම්වරයා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, රජයේ ඉඩමක් පුද්ගලයෙකුට ලබා දෙන්නේ එම පවුලේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමේ අරමුණින් බවයි. එහිදී එම ඉඩමේ අයිතිය මුල් අයිතිකරුගෙන් පසුව හිමිවන්නේ ඔහුගේ ලේ ඥාතීන් වන නීත්‍යානුකූල උරුමකරුවන්ට පමණක් බවත්, යම් උරුමකරුවෙකු අදාළ ඉඩම භුක්ති විඳින්නේ නම් ඔහුට එහි අයිතිය හිමිවන බවත් පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, මුල් අයිතිකරු මියගොස් මාස හයක් ඇතුළත අදාළ උරුමකරු එම ඉඩමේ භුක්තියට පැමිණීම අනිවාර්ය බවත්, ඉඩමේ පසු අයිතිය (ප්‍රතිලාභීන්) කලින්ම ලියා තැබීම මගින් අනාගත ආරවුල් වළක්වා ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

රජයේ ඉඩම් පරිහරණය සහ මැනුම් කටයුතු පිළිබඳව අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයා, ඉඩමක මායිම් ගල් කිසිසේත් වෙනස් නොකළ යුතු බවත් ඉඩම වැටක් ගසා පරිහරණය කිරීමේ වැදගත්කමත් අවධාරණය කළේය. ප්‍රාදේශීය ලේකම්වරයාට ඉඩම් සම්බන්ධ බලතල හිමි වුවද, ඉඩමක් බැහැර කිරීමේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මැදිහත් වන බවත්, රජයේ අධීක්ෂණය යටතේ සිදුකරන මැනුම් සහතිකවලට ඉහළ නීතිමය පිළිගැනීමක් පවතින බවත් මෙහිදී අනාවරණය විය.

මෙම අවසථාවට එක්ව සිටි ශ්‍රී ලංකා පළාත් පාලන ආයකනයේ ජ්‍යේෂ්ඨ වැඩසටහන් කළමණාකරු පී. ප්‍රදීප් මහතා ඉඩම් වර්ගීකරණය පිළිබඳව කරුණු දක්වමින්, පුද්ගලික හා රජයේ ඉඩම්වලට අමතරව වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වෙරළබඩ භූමිය, වැවිලි ඉඩම් සහ පළාත් පාලන ආයතන සතු ඉඩම් පිළිබඳව තත්ත්වය ද පැහැදිලි කළේය. පළාත් පාලන ආයතනවලට ඉඩම් සින්නක්කරව පැවරීමේ අයිතියක් නොමැති වුවද, පොදු සංවර්ධන කටයුත්තක් සඳහා ඉඩම් පවරා ගැනීමේ නීතිමය බලය පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. වෙරළබඩ සහ ගම්බද ප්‍රදේශවල පවතින සුවිශේෂී ඉඩම් ගැටලු මෙන්ම පළාත් පාලන ආයතනවල කාර්යභාරය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ද එහිදී බෙදා ගන්නා ලදී.

මෙම අවස්ථාවට එක්වූ නීතිඥ අචිනි උදේශිකා මෙනවිය ඉඩම් අයිතිය, හවුල් ඉඩම් සහ අන්තිම කැමති පත්‍රයක් සකස් කරන ආකාරය පිළිබඳව සහභාගී වූවන් වෙත සරල නීතිමය මගපෙන්වීමක් ලබා දුන්නාය.

ඉඩම් හිමිකම් පිළිබඳ ප්‍රජා දැනුවත්භාවය ශක්තිමත් කරමින් සාර්ථකව නිමාවට පත් වූ මෙම වැඩසටහන සඳහා තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මොහොමඩ් නස්රීන් මහතා ඇතුළු එම ආයතනයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.

Related articles

error: Content is protected !!