31.1 C
Galle

සුනාමියෙන් පාඩම් ඉගෙන නොගෙන ඉක්මනින්ම අමතක කිරීම ඊළඟ ව්‍යසනයට පාර කැපීමක්

Published:

“අපේ රටේ මිනිසුන්ගේ තිබෙන ලොකුම දුර්වලතාවයක් තමයි සිදුවන ව්‍යසන ඉක්මනින්ම අමතක කිරීම. ඒ අමතක කිරීම නිසාම අපි ඊළඟ ව්‍යසනයට මුහුණ දීමට නිසි ලෙස සූදානම් වෙන්නේ නැහැ. සුනාමියෙන් ඉගෙන ගත් පාඩම් අමතක කිරීම ඊළඟ ආපදාවට පාර කැපීමක්,” යැයි දකුණු පළාත් සභාවේ සභා ලේකම් මහේෂ් කරුණාරත්න මහතා පැවසීය.

හෙතෙම මෙම අදහස් පළ කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට දැඩි බලපෑමක් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ස්වෙච්ඡාවෙන් කැපවූ තරුණ ස්වෙච්ඡා නායකයින් 35 දෙනෙකු ඇගයීම වෙනුවෙන් පැවැති සහතිකපත් ප්‍රදානෝත්සවයකට එක්වෙමිනි. තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රය (CEYSD) විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන ගාල්ල SED Galle ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් කරුණාරත්න මහතා සඳහන් කළේ, සුනාමි ව්‍යසනයෙන් පසුව විදේශීය සංවිධාන රැසකින් විශාල වශයෙන් ආධාර ලැබුණු නමුත්, ඒවා යටතේ ඉදිකළ ඇතැම් නිවාස ව්‍යාපෘති අද වන විට විවිධ නීතිමය හා පරිපාලන ගැටලුවලට මුහුණ දී ඇති බවයි.

“එදා ඉදිකළ නිවාසවල අයිතිය පිළිබඳ ගැටලු අදත් පවතිනවා. සමහර නිවාස කිහිප වරක් අලෙවි වෙලා, මුල් ප්‍රතිලාභියා වෙනුවට අද එහි සිටින්නේ 12 වැනි හෝ 13 වැනි අයිතිකරු. අපේ ආපදා කළමනාකරණ ඉතිහාසයේ මෙවැනි සාධනීය සහ සාධනීය නොවන ලක්ෂණ බොහොමයක් තියෙනවා. මේවායින් අප පාඩම් ඉගෙන ගත යුතුයි,” යැයි ඔහු පැවසීය.

ආපදා තත්ත්වයන්ගේ බරපතලකම වැඩි කිරීමට මානව ක්‍රියාකාරකම් සෘජුවම බලපාන බව ද අවධාරණය කළ මහේෂ් කරුණාරත්න මහතා, පරිසර විනාශය, අනවසර සංවර්ධන කටයුතු සහ නීති උල්ලංඝනය කිරීම් වැනි කරුණු ආපදා අවදානම් තීව්‍ර කිරීමට හේතු වන බව සඳහන් කළේය.

“දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය ස්වභාවික තත්ත්වයන් පමණක් නිසා සිදු වූවක් නොවෙයි. පරිසරයට අප විසින් සිදු කරන හානි සහ අවිධිමත් මානව ක්‍රියාකාරකම් ද එහිදී විශාල වශයෙන් බලපෑවා. එම නිසා පරිසර විනාශයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි. ආපදා වළක්වා ගැනීම සහ ඒවායේ බලපෑම අවම කිරීම සඳහා රජය, ආයතන සහ ජනතාව සියලු දෙනාටම වගකීමක් තිබෙනවා,” යැයි ඔහු කියා සිටියේය.

දිට්වා ආපදාවෙන් පසු විවිධ ප්‍රදේශවලින් පැමිණි ස්වෙච්ඡා සේවකයන් ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව විපතට පත් ජනතාවට සහයෝගය ලබාදුන් බවත්, එම සියලු දෙනාට සිය කෘතඥතාව පළ කරන බවත් මහේෂ් කරුණාරත්න මහතා සඳහන් කළේය.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ, වාරියගොල්ල සහ දෙල්තොට ප්‍රදේශවල නිවාස හා පාසල් පිරිසිදු කිරීම, ජලනල පද්ධති අලුත්වැඩියා කිරීම ඇතුළු අත්‍යවශ්‍ය පුනරුත්ථාපන කටයුතු රැසකට මෙම තරුණ ස්වෙච්ඡා නායකයින් දායක වී තිබිණි.

මෙම අවස්ථාව සඳහා ඉඩම් සමතකරණ මණ්ඩලයේ සභාපති (විශ්‍රාමික ඉඩම් කොමසාරිස්) අනුර ගමගේ මහතා, නීතීඥ තුෂානි කන්දිල්පාන මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර, තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ (CEYSD) විධායක අධ්‍යක්ෂ මොහොමඩ් නස්රීන් මහතා සහ කාර්ය මණ්ඩලය විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!