ගෘහස්ථ හිංසනයන්ට ලක්වන බොහෝ දෙනා ලැජ්ජාව, බිය, සමාජ අපහාසය හෝ ආර්ථික යැපීම වැනි හේතු නිසා නිහඬව සිටීමට පෙළඹෙන නමුත් එම නිහඬතාවය ගැටලුව තවත් උග්‍ර කරන බව අවධාරණය කරමින් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනක් “නිහඬතාව බිඳින්න” යන තේමාව යටතේ පසුගියදා (08) ගාල්ල නගරයේදී පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන රැසක සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම පා ගමන තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රය විසින් සංවිධානය කර තිබිණ.
“නීතිමය සහය සහ රැකවරණය සෑම කාන්තාවකගේම අයිතියකි” යන සටන් පාඨය ඔස්සේ කාන්තාවන්ට තමන් මුහුණදෙන පීඩනය පිළිබඳව නිහඬව නොසිට හඬ නැගීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
සංවිධායකයින් පෙන්වා දුන්නේ ගෘහස්ථ හිංසනය යනු ශාරීරික පහරදීම්වලට පමණක් සීමා නොවන බවත්, මානසික, වාචික, ආර්ථික සහ ලිංගික පීඩන ලෙසද එය බොහෝ පවුල් තුළ සැඟවී පවතින බවත්ය. එවැනි හිංසනයන්ට ගොදුරු වන පුද්ගලයින්ගේ ආත්ම විශ්වාසය, ගෞරවය සහ ජීවන තත්ත්වය බිඳ වැටෙන අතර, බොහෝ දෙනා තවදුරටත් නිහඬව සිටීමෙන් ගැටලුව තවත් බරපතළ වන බවද ඔවුහු සඳහන් කළහ.
මෙම පාගමන අතරතුර “ගෘහස්ථ හිංසනයට එරෙහිව නිහඬතාව බිඳින්න” යනුවෙන් සඳහන් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක්ද සිදු කෙරුණු අතර, ගෘහස්ථ හිංසනයට ලක්වන පුද්ගලයින් නීතිමය සහය සහ ආරක්ෂාව ලබාගැනීමට බිය නොවිය යුතු බවටද අවධාරණය කෙරිණි.






