29 C
Galle

දැරියට යුක්තිය ඉල්ලා ගාලු කාන්තාවෝ උද්ඝෝෂණයක

Published:

රට තුළ දිනෙන් දින ඉහළ යන කාන්තා හා ළමා හිංසනයට, ළමා අපයෝජනවලට සහ ඒ සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඇතුළු අක්‍රමිකතාවලට එරෙහිව හඬ නැඟීම සඳහා සංවිධානය කළ විරෝධතාවක් අද (19) සවස ගාල්ල දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කාන්තා සංවිධාන ගණනාවක සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් “නිහඬතාව බිඳින්න” යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැත්විණ. කම්හල, වැඩපොළ, පොදු ප්‍රවාහනය මෙන්ම තමන් ජීවත්වන නිවස තුළ පවා කාන්තාව මුහුණ දෙන හිංසනය සහ පීඩනය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව පවසමින් ඔවුහු විරෝධතාවයේ යෙදුනහ. “ගාලු ස්ත්‍රී බලවේගය” ලෙස එක මිටකට ඒකාබද්ධ වෙමින්, ඔවුන් සාමකාමීව එහෙත් අතිශය ආවේගශීලී අයුරින් සටන් පාඨ ගායනා කරමින් සිය විරෝධය පළ කළහ. එහිදී ඔවුන් ගායනා කළ,

“විඳල විඳල – බැරිම තැනදි / මහ පාරට – අපි ආවා නිහඬතාව – බිඳ දමන්න / හඬ නඟන්න – අපි ආවා…”

යන සටන් පාඨ මඟින් සමස්ත කාන්තා පරපුරම මුහුණ දෙන සමාජීය ඛේදවාචකය මනාව නිරූපණය කෙරිණි.

මෑතකදී අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වූ දැරියකට සිදු වූ අසාධාරණය සහ අවනඩුව පිළිබඳව ද මෙහිදී ඔවුන්ගේ දැඩි අවධානය යොමුවූ අතර, වැරදිකරුවන් කවුරුන් වුවද නීතිය නැමීමට ඉඩ නොතබන බවට ඔවුහු අවධාරණය කළහ. එසේම, රටේ පාලන අධිකාරිය නියෝජනය කරන කාන්තා නායිකාවන්ගේ අවධානය යොමු කරවමින්, පාලකයන්ගෙන් තවදුරටත් “සුරංගනා කතා” හෝ “චාටු වංගු” බලාපොරොත්තු නොවන බවත්, ප්‍රායෝගිකව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් කියා සිටියහ. ඔවුන් ඒ බව පැවසුවේ,

“අගමැතිනිය – ඇමතිතුමිය / මර නින්දෙන් – අවදි වෙන්න ස්ත්‍රීන් ද – දරු දැරියන් / වෙනුවෙන් ඔබ – හඬ නඟන්න” යනුවෙන් හඬ නගමිනි.

රටේ ආර්ථිකය නැඟෙන්නේත්, පවුල රැකෙන්නේත් කාන්තාවගේ දිරියෙන් සහ ශ්‍රමයෙන් බව පෙන්වා දුන් සංවිධායකයින්, එවැනි අභිමානවත් කාන්තාවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට සිදුවන දූෂණ හා තරවටු කිරීම් වහාම නැවැත්වීමට රජය මැදිහත් විය යුතු බව ද එහිදී ප්‍රකාශ කළහ.

විදේශික කාන්තාවන් පිරිසක් ද මෙම විරෝධතාවයට එක්ව සිටීම විශේෂත්වයක් විය.

Related articles

spot_img
error: Content is protected !!