“ඉඩමක් කියන්නේ කේක් කෑල්ලක් වගේ දෙකට කපන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම ඉඩම් ගැටලුවක් ඇතුළෙම මනුස්ස ජීවිත තියෙනවා කියලා හිතුවොත් විසඳුම් හොයාගන්න පහසුයි” යැයි ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් පියුමාලි ලියනගේ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ ඉඩම් නීති සහ ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් සමථ මණ්ඩල නියෝජිතයන් දැනුවත් කිරීමේ දෙදින වැඩසටහනකට එක්වෙමිනි. තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රය (CEYSD) විසින් සංවිධානය කළ මෙම වැඩසටහන පසුගියදා ගාල්ලේදී පැවැත්විණි.
මෙහිදී රජයේ ඉඩම් නීති, ඉඩම් ආරවුල් විසඳීමේ ක්‍රියාමාර්ග සහ සමථකරණයේ වැදගත්කම පිළිබඳව නියෝජිතයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
ප්‍රාදේශීය ලේකම් පියුමාලි ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ ගෙවල් සහිත රජයේ ඉඩම් බෙදීමේදී නිලධාරීන්ටද විවිධ අපහසුතාවලට මුහුණදීමට සිදුවන බවයි. “අසතුටට පත්වන පාර්ශවය හැම තැනටම ගිහින් අවසානයේ පොලිසියටත් යනවා. අපිට පනත් අනුව වැඩ කරන්න සිදුවෙනවා. ඒ නිසා සමථ මණ්ඩල නියෝජිතයන්ගේ වගකීම තමයි ආරවුල් උග්‍ර වීමට පෙර දෙපාර්ශවය සමතයකට පත්කරගන්න උපදෙස් ලබාදීම” යැයි ඇය පැවසුවාය.
සම්පත් දායකයෙකු ලෙස එක්වූ සමථ මණ්ඩල ලේකම් පී.ජී. අනුර මහතා ලංකාවේ ඉඩම් පද්ධතිය ඉතිහාසය පුරා වෙනස් වූ ආකාරය පිළිබඳව පැහැදිලි කළේය. අධිරාජ්‍යවාදී යුගයේ සිට ඉඩම් වර්ගීකරණය සිදු වූ ආකාරය සහ විවිධ කාලවකවානුවලදී පැනවූ නීති හා අණපනත් පිළිබඳවද ඔහු දැනුවත් කළේය.
නීතීඥ තුෂාර ද සිල්වා මහතා සඳහන් කළේ සමථකරණයට නීතිය පිළිබඳ දැනුම අවශ්‍ය වුවද, සෑම ගැටලුවක්ම නීතියෙන් පමණක් විසඳිය නොහැකි බවයි. නීතිමය ක්‍රියාමාර්ගයකට පෙර ජනතාව අතර එකඟතාවයක් ඇති කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මොහොමඩ් නස්රීන් මහතා ඇතුළු කාර්යමණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.








