27.9 C
Galle

අත්ලාන්තික් සාගරයේ මගී නෞකාවක, දරුණු වයිරස් රෝගයකින් තිදෙනෙක් මරුට

Published:

ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් (Cape Verde) දක්වා යාත්‍රා කරමින් තිබූ ‘MV Hondius’ නමැති සුඛෝපභෝගී මගී නෞකාව තුළ හැන්ටා වයිරසය ව්‍යාප්ත වීමෙන් මගීන් තිදෙනෙකු මියගොස් තවත් පිරිසකට වයිරසය ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය බීබීසී පුවත් සේවයට තහවුරු කර ඇත.

දකුණු අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි මියගිය පිරිස අතර ඕලන්ද ජාතික යුවළක් ද වේ. 70 හැවිරිදි ස්වාමිපුරුෂයා යානය තුළදීම උණ, හිසරදය සහ උදරයේ වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර ඔහු සාන්ත හෙලේනා දූපතට රැගෙන එන විටත් මියගොස් සිට ඇත. ඔහුගේ බිරිඳ (69) දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මියගිය තෙවන පුද්ගලයා ද ඕලන්ද ජාතිකයෙකු බව වාර්තා වේ.

මීට අමතරව, තවත් ආසාදිතයින් පස් දෙනෙකු පිළිබඳව සැක පවතින අතර 69 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජොහැන්නස්බර්ග් නුවර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

නෞකාවේ වත්මන් තත්ත්වය

නෞකාව මේ වන විට කේප් වර්ඩ් හි ප්‍රායියා (Praia) අගනුවරට නුදුරින් මුහුදේ නවතා ඇති නමුත්, එහි සිටින පිරිස් ගොඩබිමට පැමිණීම සඳහා එරට බලධාරීන් මෙතෙක් අවසර ලබා දී නැත. ‘Oceanwide Expeditions’ සමාගම විසින් මෙහෙයවනු ලබන මෙම නෞකාවේ මගීන් 150ක් පමණ සිටින බව වාර්තා වේ.

හැන්ටා වයිරසය යනු කුමක්ද?

හැන්ටා වයිරසය සාමාන්‍යයෙන් මීයන් වැනි රොඩෙන්ටියා (Rodents) සතුන්ගේ කෙළ, මුත්‍රා හෝ මළපහ මගින් මිනිසුන්ට බෝ වේ. මෙය දරුණු ශ්වසන රෝගාබාධ ඇති කිරීමට හේතු වන අතර කලාතුරකින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැක. මෙම වයිරසයේ බීජෞෂණ සමය සති එකක සිට අටක් දක්වා විය හැකි බැවින් ඉදිරි සති කිහිපය තුළ තවත් ආසාදිතයින් හමුවීමේ අවදානමක් පවතින බව ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයින් අනතුරු අඟවයි.

2025 වසරේ මාර්තු මාසයේදී ප්‍රකට හොලිවුඩ් නළුවෙකු වූ ජීන් හැක්මන්ගේ (Gene Hackman) බිරිඳ ද මෙම වයිරසය ආශ්‍රිත ශ්වසන රෝගයකින් මියගොස් තිබුණි.

Related articles

error: Content is protected !!