26.4 C
Galle

වසරේ මේ දක්වා ඩෙංගු මරණ 13ක්!

Published:

දිවයින පුරා ඩෙංගු රෝගය යළි වේගයෙන් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. මේ වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අතරට ජාත්‍යන්තර පාසලක සිසුවෙකු ද ඇතුළත් බව එම ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, මැයි මස 04 වැනිදා වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,071ක් වාර්තා වී ඇති බවයි. පසුගිය මාස කිහිපය තුළ රෝගීන් වාර්තා වී ඇත්තේ,

මාර්තු මාසයේ රෝගීන් 6,013ක්, අප්‍රේල් මාසයේ රෝගීන් 5,662ක්, සහ මැයි 01 සිට 04 දක්වා රෝගීන් 809ක් වශයෙනි.

පළාත් හතරක රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ.

පවතින කඩින් කඩ වැසි සහිත කාලගුණයත් සමඟ මිනිසුන් විසින් අවිධිමත් ලෙස ඉවතලන බඳුන්වල ජලය රැඳීම මෙම ව්‍යාප්තියට ප්‍රධාන හේතුව වී ඇත. කීට විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව වැඩිපුරම මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ, පාසල් පද්ධති, බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු ආගමික ස්ථාන සහ රජයේ කාර්යාල පරිශ්‍ර සහ පෞද්ගලික නිවාස වේ.

සෞඛ්‍ය උපදෙස්

තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මෙන්ම චිකන්ගුන්යා රෝගය ද පාලනය කළ හැකි බව වෛද්‍ය කන්නංගර මහතා අවධාරණය කරයි. එබැවින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට සහාය වන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!