ඩෙංගු වසංගත තත්ත්වයක් පිළිබඳව පූර්ව පුරෝකථන ඉදිරිපත් කර තිබියදීත්, ඇතැම් බලධාරීන් සහ නිලධාරීන් නිසි වේලාවට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
ගත වූ පැය 24 තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 47,179ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 28කි.
සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පෙන්වා දෙන්නේ ජනවාරි මාසයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ඩෙංගු මදුරු කීට ඝනත්වය පෙන්වන ‘බිටෝ දර්ශකය’ අප්‍රේල් මාසය වන විට බොහෝ ප්‍රදේශවල සියයට 25 ඉක්මවා තිබූ බවයි.
සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන පවසන්නේ,
“මේ තත්ත්වය අපි අප්‍රේල් මාසයේදීම ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා හරහා අදාළ පළාත් බලධාරීන්ට දැනුම් දුන්නා. නමුත් සමහර කොට්ඨාසවල නිලධාරීන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වුණා. දැන දැනත් ක්‍රියාමාර්ග ප්‍රමාද කිරීම නිසයි ජුනි මාසය වන විට රෝගීන් මේ තරම් ශීඝ්‍රයෙන් ඉහළ ගියේ.” යනුවෙනි.
මීට අමතරව, 2017 වර්ෂයේ පැවති ඩෙංගු වෛරස් කාණ්ඩයම මෙවර නැවත පැමිණ තිබීම හේතුවෙන් ජනතාව තුළ ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොමැති වීම ද ආසාදිතයින් වැඩි වීමට තවත් ප්‍රධාන හේතුවක් වී තිබේ.
රෝහල් පද්ධතිය දැඩි අර්බුදයක
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අනාවරණ කරන්නේ සාමාන්‍ය කාලයකදී දෛනිකව වාර්තා වන්නේ රෝගීන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් වුව ද, වත්මන් අවදානම හමුවේ එය 600-650 දක්වා ඉහළ ගොස්, ඊයේ දිනය වන විට රෝගීන් 1,000 සීමාව ද ඉක්මවා ගොස් ඇති බවයි.
රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාවය මේ වන විටත් ඉක්මවා ගොස් ඇති අතර, වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි මානසික හා ශාරීරික පීඩනයකට ලක්ව සිටී. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටීමේ බරපතළ අවදානමක් පවතින බවත්, ඉදිරියේදී මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් ඒ මහතා අවධාරණය කරයි.
දැඩි අවදානමක පවතින දිස්ත්‍රික්ක
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් තවදුරටත් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවයි.
මදුරුවන් බෝවන ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීමට මහජනතාව උපරිම සහාය නොදුනහොත් මෙම මාරාන්තික වසංගත තත්ත්වය පාලනය කිරීම අතිශය දුෂ්කර වනු ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් මතක් කර සිටියි.



