දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් කිහිපයක සිසුන් සහ ගුරුවරුන් අතර උණ රෝගී තත්ත්වයක් සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන්, එම කලාපයේ පාසල් හතරක් අද (07) සහ හෙට (08) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කළ බව දෙණියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කරයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත මෙලෙස තාවකාලිකව වසා තැබෙන්නේ,
- මාර/දෙනියාය ජාතික පාසල
- මාර/දෙනියාය මැතිව්ස් ද්විභාෂා මහ විද්‍යාලය
- මාර/සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය
- මාර/දෙනියාය රාජපක්ෂ මහ විද්‍යාලය යන පාසැල් ය.
වාර්තා වන අන්දමට මෙම පාසල්වල දරුවන් අතර මෙනින්ජයිටීස් යැයි සැක කරන රෝගීන් ද ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයන් ද ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. රෝග තත්ත්වයන් තවදුරටත් පැතිර යාම පාලනය කිරීම සහ සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව අධ්‍යාපන බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
පවතින තත්ත්වය හමුවේ දරුවන්ට උණ, කැස්ස හෝ හිසරදය වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත්, රෝගී ලක්ෂණ පවතින දරුවන් පාසල් හෝ ජනාකීර්ණ ස්ථාන වෙත යොමු කිරීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.


