පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.
සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්දේශ මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය හෙට (11) සහ අනිද්දා (12) යන දෙදින තුළ ද වසා තැබෙනු ඇත.
මෙම උණ රෝගී තත්ත්වය පසුගිය දින කිහිපය පුරා පාසල් දරුවන් අතර වේගයෙන් පැතිර යාම හේතුවෙන් පසුගිය 07 සහ 08 යන දිනවලදීද අදාළ පාසල් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණි.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතා පැවසුවේ, අදාළ පාසල්වල සිසුන් අතර තවදුරටත් රෝගීන් වාර්තා වීම සහ සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අතර සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ ශරීර වේදනාව වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් ඔවුන් පාසල් නොයවා වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි.


