28.3 C
Galle

හන්ටා වයිරසයෙන් කැළඹුණු සුඛෝපභෝගී නෞකාවේ මගීන් ඉවත් කෙරේ

Published:

හන්ටා වයිරසය ආසාදනය වීමෙන් මරණ තුනක් වාර්තා වූ “MV Hondius” නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් වෙත රැගෙනවිත් දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග යටතේ ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

දකුණු අත්ලාන්තික් සාගරයේ සංචාරයක නිරතව සිටි මෙම සුඛෝපභෝගී නෞකාවේ මගීන් අතර හන්ටා වයිරසයේ “ඇන්ඩීස්” ප්‍රභේදය පැතිර ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබුණි.

නෞකාව ටෙනරිෆ් වරාය වෙත ළඟා වූ පසු වෛද්‍ය කණ්ඩායම් නෞකාවට ගොඩවී මගීන් පරීක්ෂා කළ අතර ආරක්ෂිත ඇඳුම් සහ මුහුණු ආවරණ භාවිත කරමින් ඔවුන් කණ්ඩායම් වශයෙන් ගොඩබිමට රැගෙන එනු ලැබීය.

පළමු කණ්ඩායම ලෙස ස්පාඤ්ඤ ජාතිකයින් 14 දෙනෙකු මැඩ්රිඩ් වෙත ගුවන් මඟින් රැගෙන ගොස් තිබෙන අතර ඔවුන්ට දින 42ක නිරෝධායනයක් අනිවාර්ය කර ඇත.

මෙම වයිරසය මූලික වශයෙන් මීයන් වැනි කෘන්තක සතුන් මඟින් පැතිරෙන අතර “ඇන්ඩීස්” ප්‍රභේදය මිනිසුන් අතරද සම්ප්‍රේෂණය විය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි

බ්‍රිතාන්‍යයෙන් හදිසි ගුවන් මෙහෙයුමක්

ලොව හුදෙකලාම දූපතක් ලෙස සැලකෙන දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි ට්‍රිස්ටන් ඩා කුන්හා (Tristan da Cunha) දූපතේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ද මෙම වෛරසය වැළඳී ඇතැයි සැකකෙරෙන බැවින් එය මර්දනය සඳහා බ්‍රිතාන්‍ය හමුදා වෛද්‍ය කණ්ඩායමක් පැරෂුට් මගින් එම දූපතට ගොඩබැස තිබේ. අදාළ පුද්ගලයා හොන්ඩියුස් නෞකාවෙන් පැමිණි අයෙකු බව හඳුනාගෙන ඇත.

මෙම දූපතට ගුවන් පථයක් නොමැති බැවින් බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අයත් යානයකින් විශේෂඥ වෛද්‍යවරුන් සහ හමුදා භටයන් පිරිසක් පැරෂුට් ආධාරයෙන් දූපතේ ගොල්ෆ් පිටිය වෙත ගොඩබස්වා ඇත. වෛද්‍ය කණ්ඩායමට අමතරව ටොන් 3.3ක වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය ඔක්සිජන් තොගයක් ද ගුවනින් ලබා දීමට කටයුතු කර තිබේ. බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මානුෂීය සහන සැලසීම සඳහා වෛද්‍ය කණ්ඩායමක් මෙලෙස ගුවනින් ගොඩබැස්වූ පළමු අවස්ථාව මෙය බවයි.

වෛරස ආසාදිත පුද්ගලයා මේ වන විට හුදෙකලා කර ප්‍රතිකාර කරනු ලබන අතර නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය මගීන් 22 දෙනෙකු බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් විශේෂ හුදකලා මධ්‍යස්ථානයක දින 45ක් නිරෝධායනය කිරීමටද සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

කොවිඩ් වසංගතයෙන් පසු සිදුකළ විශාලතම සෞඛ්‍ය ආරක්ෂණ මෙහෙයුමක් ලෙස මෙම මෙහෙයුම සැලකෙන අතර සාමාන්‍ය ජනතාවට ඇති අවදානම ඉතා අඩු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ස්පාඤ්ඤ සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි

Related articles

error: Content is protected !!