මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් ප්‍රතිවාදී රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ බරපතළ ගැටුමකින් රැඳවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 35 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම දරුණු ගැටුම හටගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම සමස්ත ගැටුම මෙහෙයවා ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ සමීප සබඳතා පවත්වන, සුරේෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසිනි. කෙටිකාලීන සිරකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් 1,800කට ආසන්න පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරය තුළ අද දහවල් කාලයේදී මෙම ප්‍රතිවාදී කණ්ඩායම් දෙක එකිනෙකාට පහරදීම ආරම්භ කිරීමත් සමඟ මුළු බන්ධනාගාර පරිශ්‍රයම දැඩි උණුසුම් තත්ත්වයක් ගෙන තිබුණි.
විශේෂ කුටි කඩා පහරදීම්; ඔසුසල කොල්ලකා අධි මාත්‍රාවෙන් බෙහෙත් බොයි
ගැටුම දුරදිග යාමත් සමඟ කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් බන්ධනාගාරයේ විශේෂිත කුටිවල ඉබියතුරු පවා කඩා දමා, එහි රඳවා සිටි විශේෂිත රැඳවියන්ට ද අමානුෂික ලෙස පහර දී ඇත. එමෙන්ම තවත් රැඳවියන් පිරිසක් මත්වීමේ අරමුණින් බන්ධනාගාරය තුළ පවතින ඔසුසල (Dispensary) බලහත්කාරයෙන් කඩා, එහි තිබූ වේදනා නාශක ඖෂධ අධි මාත්‍රාවෙන් (Overdose) පානය කර ඇති බව ද පොලීසිය අනාවරණය කළේය.
මීගමුව මහ රෝහල සඳහන් කළේ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 35 දෙනෙකු රෝහල්ගත කළ බවයි. ඉන් බරපතළ තත්ත්වයේ පසුවන රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා වහාම කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ. තුවාල ලැබූවන්ගෙන් තවත් රැඳවියන් දසදෙනෙකු මීගමුව රෝහල තුළදීම හදිසි සැත්කම් සඳහා යොමු කිරීමට නියමිතව තිබූ අතර සෙසු පිරිස නේවාසිකව ප්‍රතිකාර ලබති.
වහල කඩා වැටෙයි
මේ අතර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයත් සමඟ, ගැටුමට මැදි වූ පාර්ශ්වයන්ට සහාය දක්වමින් බන්ධනාගාරයේ ගැහැනු වාට්ටුවේ සිටි කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මතට නැඟ දැඩි විරෝධතාවක නිරත විය. ඉන් සුළු මොහොතකට පසු පිරිමි රැඳවියන් පිරිසක් ද බන්ධනාගාරයේ වහලය මතට නැඟ මෙලෙස විරෝධතාවයේ නිරත වන අයුරු දැකගත හැකි විය.
ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වෙමින් සිටින අතරතුර අද පස්වරුවේ එහි වහලය කඩාවැටී ඇත.
ඉන් තුවාල ලැබූ රැඳවියන් සිවුදෙනෙකු ද මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
පිටතත් නොසන්සුන්; ආරක්ෂාව දැඩි කෙරේ
බන්ධනාගාරය තුළ ගැටුමක් හටගත් බව සැලවීමත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට රැස් වූහ. එහිදී තම ඥාතීන් පිළිබඳව කිසිදු තොරතුරක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන බවට චෝදනා කරමින් ඥාතීන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය. පසුව පොලීසිය මැදිහත් වී රෝහල්ගත කළ රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා ඥාතීන් පිරිසකට අවස්ථාව සලසා දීමෙන් පසු එම තත්ත්වය සමනය විය.
මේ වන විටත් බන්ධනාගාරය අභ්‍යන්තරයේ සහ පිටත පරිශ්‍රයේ තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැරලි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ මීගමුව ඇතුළු අවට පොලිස් ස්ථානවල නිලධාරීන් විශාල පිරිසක් ස්ථානගත කර තිබේ.



