ඊයේ (05) දහවල් හටගත් දරුණු ගැටුමෙන් පසුව අද (06) වනවිට පාලනය කර තිබූ මීගමුව බන්ධනාගාරය ඇතුළත වත්මන් තත්ත්වය, මේ වනවිට යළිත් දැඩි නොසන්සුන්කාරී අතට හැරී ඇතැයි වාර්තා වේ. යළි ඇතිවූ මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකුට ද තුවාල සිදුව ඇති බව ද පොලීසිය පවසයි.
ඊයේ පස්වරු 1.00ට පමණ බන්ධනාගාරය තුළ රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් පිරිසක් සහ දඬුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් අතර මෙම ප්‍රචණ්ඩකාරී ගැටුම හටගෙන තිබුණි. මෙම දරුණු ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් තිබිණ.
බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ ඊයේ සිදුවූ මෙම දරුණු ගැටුම පිළිබඳව විධිමත් විමර්ශනයක් පැවැත්වීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.
ඊයේ ගැටුමෙන් පසුව රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැඟ විරෝධතාවයක නිරත වූ අතර, එහිදී වහලයෙන් බිමට වැටීමෙන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තුවාල ලැබූ රැඳවියන්ගෙන් 34 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ අතර බරපතළ තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණි. ප්‍රතිකාර ලබන රැඳවියන්ගෙන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පල්ලන්සේන කඳවුර වෙත මාරු කර යැවීමට ද පියවර ගෙන තිබේ.
ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ඊයේ ඇතිවූ තත්ත්වය බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ යුද හමුදාව එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා පාලනය කර ආරක්ෂාව තර කළ බවයි. එහිදී රැඳවියන් විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත්, අද උදෑසන වනවිට බන්ධනාගාරය ඇතුළත තත්ත්වය යළිත් උණුසුම් වී නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල වී ඇති බැවින්, බන්ධනාගාරය තුළ සහ පිටත ආරක්ෂාව උපරිම අයුරින් තර කිරීමට ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් සිටී.



